Thursday, September 16, 2010

කැළණියේ ඡායාරූප චාරිකාව

පසුගිය දවසක අපේ ඡායාරූප සංගමයෙ කට්ටිය නිවාඩු පාඩු වෙලාවක කැළණි පන්සලේ ඡායාරූප ටිකක් ගන්න කියල යන්න හිතුවා. ඉතින් එදා උදේ පාන්දර 6ට විතර අපි කැළණියට ගියා. ශිෂ්‍යයන් විදිහට අපි යන හින්දා අපේ ගුරුවරු මේ ගමන ගැන පන්සලේ ස්වාමින්වහන්සේලා දැනුවත් කරල අවසර ගන්න කියල අපිට කියල තිබ්බා.

මේ හේතුව හන්දා එදා පාන්දර කැළණිය පන්සලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න මමත් තව මිතුරෙකුත් පිටත්වුනා. අපිට මදකට කලින් එතනට ගිය වැඩිහිටියන් දෙදෙනෙකුත් තරුණ මහත්තයෙකුත් මංගල ඡායාරූප ගන්න අවසර ඉල්ලපු වෙලාවෙ ලොකු හාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.
ඊට පස්සෙ අපි. කලින් කෙරුණු කතාව ගැන ටිකක් තේරුණ හන්ද තරමක් චකිතයෙන් ගිහින් ලොකු හාමුදුරුවන්ට අපේ අවශ්‍යතාවය කිව්වා.

ලොකු හාමුදුරුවො ඊ‍ට පස්සෙ තමයි මංගල ඡායාරූප ගන්න කැළණි විහාරය නොදෙන්න හේතුවුන  කතාව කිව්වෙ. ඒක හරිම සාධාරණ හේතුවක්. බෞද්ධයො විදිහට පන්සලක් කියන්නෙ බොහොම ගෞරවයෙන් සලකන්න ඕනෙ තැනක්. කැළණිය කියන්නෙ ඊටත් වඩා බෞද්ධයන්ට වැදගත් ස්ථානයක්.

වර්ථමානයේ ඡායාරූපකරනය පැත්තෙන් හිතනකොට කැළණිය කියන්නෙ පසුබිම සදහා මනරම් දසුන් මවන තැනක්. එතන හරියට රජ මාලිගාවක් වගෙයි. ඉතින් කාලයක් තිස්සෙ ඡායාරූප ශිල්පියො මංගල ඡායාරූප වලටත් කැළණි විහාරයෙ පසුබිම් යොදාගෙන තිබුණා. නමුත් අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙන්නෙ  මෑත කාලයේ දියි.  කැළණියේ වැදගත් කම නොදත් ඡායාරූප ශිල්පීන් ඉන්නවා කියන්නෙ බොහොම දුක්බර කාරණයක්. පසුගිය කාලෙ දිගින් දිගටම වෙච්ච සිදුවීම් බොහොම කණගාටුදායකයි කියලයි ලොකුහාමුදුරුවො අපිට පැවසුවෙ. ධාතු නිධන් කරපු දාගැබ‍ට පිටදීල බොහොම අනුරාගිකව ගත්ත ඡායාරූප ගැනත් උන්වහන්සේ අපිත් එක්ක කිවුවා. උන්වහන්සෙ පවසපු ආකාරයට එහෙම වෙච්ච පළවෙනි අවස්ථාව ඒක නෙවෙයි. ඉතින් බෞද්ධයන් ඉතා ආදරයෙන් වන්දනාමාන කරන ඒවගේ ස්ථානයක ගෞරවය කෙළෙසන විදිහට හැසිරෙන එක ඡායාරූප ශිල්පයටත් කරන අගෞරවයක්.

ලොකු හාමුදුරුවො අවසාන වශයෙන් අපිට පැවසුවෙ ඡායාරූප ගැනිම යනු හුදෙක් කැමරාවට මුහුණ දීම පමණක් නොවේ කියන පණිවිඩය ඡායාරූපකරනයෙ නියුතු පරම්පරාවට දන්වන්න කියල.

Thursday, September 09, 2010

තවත් දුක හිතෙන කතාවක්

මීට අවුරුද්දකට විතර කලින් ලියපු ලිපියක් එක්ක මේ ලිපිය සම්බන්ධ වෙනවා. ඒ ලිපිය මෙතනින් බලාගන්න පුළුවන්. ඒ ලිපිය ලිව්වෙ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්. ඉතින් මේ ලිපිය සම්බන්ධ වෙන්නෙ ඒ මරණෙට එන්න බැරිවුන පුතා වෙනුවෙන්.

මේ වගේ කතාවක් කවදාවත් ලියන්න වෙයි කියල මම හිතුවෙ නෑ. ඒත් අන්තිමට එහෙම වුනා. ඒ නැන්දගෙ අවසාන කටයුතු ඉවරවෙලා දවස් 10 කින් විතර ඒ පුතා ලංකාවට ආවා. ඒ එනකොට එයා කොච්චර දුකෙන් හිටියද කියල කියන්න ඕනෙ නෑනෙ. ඒ ගමන ආවෙ එයා විතරයිග පවුලෙ අය ආවෙ නෑ. තවත් මාසයක් විතර පුතා ලංකාවෙ හිටියා. ඊට පස්සෙ ආයි රට ගියා. තමන්ගෙ තාත්තා ආයෙත් තනිවෙනවා කියන හැගීම එයාට තිබ්බත් කරන්න දෙයක් තිබ්බෙ නෑ මං හිතන්නෙ. ආයෙත් රට යනකොට තාත්තාට මාස ගණනාවකට ඇතිවෙන්න කෑම බීම ගෙදරින් ගෙනත් තියලයි ගිහින් තිබ්බෙ.

කොච්චර කෑම බීම සැප සම්පත් තිබ්බත් තනිකම කියන දේ ඊට වඩා ගොඩක් වැඩි හන්ද ඒ මාමා පොඩි පවුලකට ( අම්මයි, තාත්තයි, පොඩි ලමයෙකුයි ඉන්න පවුලක්)ගෙදර ඉන්න කිව්වා. එතකොට අඩුම තරමෙ කෑම බීම ටිකවත් වෙලාවට හම්බවෙනවනෙ. කාලය තවත් මාස කීපයක් ගෙවුනා.

ගිය මාසෙ දවසක කවුරුත් නොහිතපු විදිහට නරක ආරංචියක් ආවා. හෘදයාබාධයක් හන්ද ඒ අයියා රට දීම මියගියා කියන එක. ඒ ආරංචියත් ඒ මාමා ගොඩක් අමාරුවෙන් විදගන්න ඇති. සති දෙකකට පස්සෙ ඒ අයියගෙ මෘතදේහය ලංකාවට ආවා. අම්මගෙ අවුරුද්දෙ දානයට මාසයක් තියෙද්දි පුතාගෙ නිසල දේහය ගේ මැද තියනකොට තාත්ත කෙනෙකුට මොනව හිතෙනව ඇද්ද?.

ඒ අයියගෙ අවුරුදු දෙකහමාරක පොඩි එකා මිනී පෙට්ටිය වටේ සෙල්ලම් කර කර ඉන්නවා. තේරුමක් නෑනෙ ඒ ඉන්නෙ තාත්ත කියල.

අයියගෙ කටයුතු වෙනුවෙන් මුළු ගමම සුදානම් වුනා. ඔහු වෙනුවෙන් සුදානම් වෙච්ච බැනර් එකක් අදටත් හන්දියෙ ගහල තියනවා.

“ආදර මිතුර පිය සෙනෙහස එපාදෝ - හොරෙන්ම විත් මවු තුරුලට ගියාදෝ”

මේක දකින ඒ මාමා කොච්චර හිතෙන් මැරි මැරි උපදිනවා ඇතිද?


ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.