Wednesday, March 31, 2010

ඩෙල්ෆ්ට් දූපතේ අසිරිය

ඒ නවය මාර්ගය දැන් පැය විසිහතර පුරාම විවෘතය. දැන් දකු‍ණේ වැසියෝ හිටු කියලා යාල් පානම් යති. ත්‍රස්ත බිය නැති යුධ බිය නැති දේශපාලන බිය පමණක් ඇති රටක වැසියන් සාමයේ ප්‍රතිඵල භුක්ති විදිනු දැකීම මනරම්ය. ඉදින් අපේ ආයතනයේ මිතුරන් පිරිසද යාපනේ ගියෙමු. ඒ අනෙක් අය මෙන් සති අන්තයේ නොව සති මැද දිනකදීය. අනෙක එය සාමාන්‍ය චාරිකාවක් නොව අතිවිශේෂ එකකි. මන්ද යත් අපගේ මග පෙන්න්නා වුයේ යාපනයේ පදිංචි කරුවෙකු වන අතර සාමාන්‍ය යාපනය චාරිකාවට අදාලවන කිසිදු තැනක අපව රැගෙන නොයාමට ඔහු කලින් සිටම තිරනය කර සිටියේය.

ඉදින් අපි ඩෙල්ෆ්ටි ගියෙමු. ඩෙල්ෆ්ටි යනු ඩොයිෂ් භාෂාවෙන් මෙම දූපත හදුන්වන නමයි. එය දෙමල භාෂාවෙන් නෙදුන්තිවු යනුවෙන් හදුන්වයි. මෙම දූපත යාපනය අර්ධද්වීපයට මදක් බටහිරින් වන්නට පිහිටි ඕවලාකාර හැඩයෙන් යුතු ලංකාවට අයිත් විශාලම දූපතකි. මෙම දූපතේ වර්ග ප්‍රමානය වර්ග කිලෝමිටර 50ක් පමණ වන අතර දිගින් කිලෝමිටර 8 ක් හා පළලින් කිලෝමීටර 6ක් පමණ වෙයි. මුළු දූපතම තැනිතලා වියලි ස්වභාවයක් ගනියි. ඩෙල්ෆ්ට් යනු අතිසුන්දර වෙරල තිරයක් මෙන්ම ශුෂ්ක දේශගුණයක් ඇති හිරිගල් රාජ්‍යයකි.

ඩෙල්ෆ්ට් යාමට සිදුවන්නේ නාගදිපයට බෝට්ටුවෙන් යාමට ගොඩවන කරිකට්ටුවාන් ජැටියෙනි. නාගදීපයට යාමට විනාඩි 20ක් පමණ ගතවුවත් ඩෙල්ෆ්ට් යාමට පැයක පමණ කාලයක් ගතවේ. කලින් මාර්ග සංවර්ධන අධිකාරියේ බෝට්ටුවකින් දුපතට ලගා වීමට හැකිවුවත් එම බෝට්ටුව අබලන් වීම නිසා අපට ගමන් කිරිමට සිදුවූයේ බඩු ප්‍රවාහනය කරන බෝට්ටුවකිනි. ගාස්තුව ලෙස රුපියල් 40ක් එක් අයකුගෙන් අයකෙරේ. නාවුක හමුදාවට අයත් නාවුක බෝට්ටුවකින් මෙම ගමන විනාඩි 15 කින් නිම කරගත හැකිය. දිනකට එක් වතාවත් මෙම බෝට්ටුව යාපනය හා ඩෙල්ෆ්ට් අතර ගමන් කරයි.

කරිකට්ටුවාන් ජැටියෙන් මගීන් 150 පමණ සමග පිටත්වු අපි පැයකට පමණ පසු ඩෙල්ෆ්ට් දුපතට ලගා වීමු. ඩෙල්ෆ්ට් ජැටියද ඉතාමත් සුන්දරය. පළමු දිනයේ ‍ ඩෙල්ෆ්ට් වලට ගොඩබසින විට මදක් සවස් වී තිබුන බැවින් ගමන් සියල්ල පසු දිනට කල් තැබුවෙමු. එදින රාත්‍රියේ අපගේ නවාතැන් පොල වුයේ ඩෙල්ෆ්ට් දුපතේ තිබු පල්ලියයි. වර්ෂ 1848 සාදන ලද මෙම පල්ලිය තුල පෙර පාසලක් ද පවත්වාගෙන යනු ලබයි. තවමත් හෝටල් හෝ නවාතැන් පහසුකම් නැති ඩෙල්ෆ්ට් දුපතේ නවාතැන් ගතයුතුවන්නේ පල්ලිය වැනි ස්ථානයකයි.

එදින රාත්‍රියේ සුරම්‍ය වෙරල තිරයේ ගිණි මැලයක් අටවා මාළු සමග පිට්ටු රාත්‍රි ආහාර ලෙස ගතිමු. සියළු තාරුකා පන්ති සහිත දර්ශණිය අහස්තලයන් එදින රාත්‍රියේ අපි දුටිමු. වෙරලේ රාත්‍රිය ගතකිරිමේදි හමුදාවේ සොයුරන්ගෙන් ලැබුණු සහයෝගයද අගය කළ යුතුයි.

පසුදා උදෑසනම වෙරල තීරයට අපි ගියෙමු. මිනිස් පහසින් නොයිදුල් සුරම්‍ය වෙරල තීරයක් ඩෙල්ෆ්ට් දුපත සතුය. ඒ මා මෙතුවක් දුටු සුන්දරතම වෙරලයි. රාත්‍රියේ මුහුදු ගිය බෝට්ටුද පැමිනෙමින් තිබුනි. ඉතාම හුරුබුහුටි අයුරින් මාළුවෙකු කරවල සදහා හමගසන අයුරු අපි දුටිමු. පණ ඇති මට්ටයින්, තාරුකා මාළුන්, මඩුවන් ගෙන් ගහන මෙම වෙරළ තීරයේ සිප්පි කටු, බෙල්ලන්, හක්ගෙඩි, වාලම්පුරි වැනි මුහුදු සම්පත් මේ වෙරලේ බහුලයි.



ඩෙල්ෆ්ට් වල කුඩා වෙළදපොලක්,තැපැල් කන්තෝරුවක්, පොලිසියක්, පාසලක්, රෝහලක් සහ පල්ලියක් තිබේ. මුළු දිවයිනටම ඇත්තේ වාහන කිහිපයක් පමණි. එයට ලංගම බස් රථයක්, මෝටර් බයිසිකල් කිහිපයක්, පොලිසියට අයත් ඩබල් කැබ් රථයක් හා ලෑන්ඩ් මාස්ටර් කීපයක් මෙහි තිබේ. බහුලවම භාවිතාවන ප්‍රවාහන මාධ්‍යය වන්නේ පාපැදියයි.

ඩෙල්ෆ්ට් දුපතේ විශේසත්වය වන්නේ සියළුම නිවාස සහ තාප්ප හිරිගල් වලින් තනා තිබීමයි. එය ඉතාම චමත්කාර දර්ශණයකි. ඩෙල්ෆ්ට් දුපතේ අනන්‍යතාවය කියාපාන ලක්ෂණයක් වන්නේ මේ හිරිගල් තාප්පයි.

ඩෙල්ෆ්ට්වල නැරඹීමට ඇතිදේ බොහෝය. නොයිදුල් වෙරල තීරය, ස්වභාවික හිරිගල් වලින් තැනුනු කොටුව, ලංකාවේ ලොකුම ගසවන යෝධ බයෝබැබ් ගස (දුපත් වැසියන් මෙම ගස මහ ගහ ලෙස හදුන්වයි), ලන්දේස් සමයේ දි තැනුන පරවියන්ට රැදි සිටිමට සාදන ලද කූඩු ද ඒ අතරින් විශේෂයි.

ඩෙල්ෆ්ට් දුපතේ බීමට ජලය ඇත. නමුත් ඒවා කිවුල්ය. ආහාරයට එළවළු හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යය ගෙනෙන්නේ යාපනයෙනි. එම නිසා එම ද්‍රව්‍ය වල මිල මදක් අධිකය. නැවුම් මුහුදු මාළු සැමවිටම දුපත තුළ විකිනීමට ඇත. තල් රා අවශ්‍ය ප්‍රමාණයට මෙම දිවයින තුල ලබාගත හැක. දුරකථන පහසුකම් දූපත තුල ඇත. නමුත් තරමක් මිල අධිකය. ජංගම දුරකතන වලින් ඩයලොග් සංඥා වෙරළාසන්නයේ පවතී. යුද්ධයෙන් එතරම් පීඩාවට පත්වු සළකුණු දුපත තුල දක්නට නොමැත. අප යන දින වල දූපත තුල අධික උෂ්ණත්වයක් තිබුණි. දූපතේ පැත්තක් කාන්තාරයක් මෙන් විය. එම පෙදෙසේ මිනිස් වාසයෙන් තොරය. එම ප්‍රදේශයේ පෝනියන් ඇතිකරනු ලබයි. දූපත තුල අභ්‍යන්තර ජලාශයන් දෙකක් තිබුණු නමුත් ඒවා බොහෝදුරට සිදී ගොස් තිබුණි.

ඩෙල්ෆ්ට් දූපතේ දවසක් ගතකල අපි පාසටහන් සහ මතකය පමණක් ඉතිරිකර නැවත පැමිනියෙමු. නමුත් තව ඉදිරියේදි මෙහි නවාතැන් පහසුකම් ඇතිවු දිනක මේ සුන්දරත්වය මෙළෙසම පවතීද?

Wednesday, March 24, 2010

මට මගහැරුණු ඇය

මේක මගෙ යාළුවෙකුට වෙච්ච දෙයක්. මේක මට කියන වෙලාවෙ යාළුවගෙ හිතේ ඇතිවෙච්ච හැගීම් මට හොදට පෙනුනා. කතාවෙ නම් ගන්න දෙයක් ඇති කියල නම් මම හිතන්නෙ නෑ. ඒත් ඉතින් හිත ඇතුලෙ ඇතිවෙන ප්‍රේමයට සීමා මායිම් නෑ. ඒක හන්ද යන්තම් පොඩ්ඩක් ඒ ගැන ලියන්න හිතුවා.

මගේ මිතුරා විවාහකයි. එයා එයාගෙ භාර්යාවට අවංකවම ආදරේ කරනවා. ඒත් මේක යෝජිත විවාහයක්. එතකොට පස්සෙනෙ ආදරේ කරන්න වෙන්නෙ. නමුත් ඔවුන් බොහොම සතුටින් ඉන්නවා. යාළුවා උපාධිධාරියෙක්.

යාළුවා කියපු විදිහට කතාව මෙහෙමයි. යාළුවා වැඩට යන්න බස් කිහිපයක යන්න වෙනවා. ඉතින් උදේ යාළුවා වැඩට එනකොට බස් එකට නැග්ගා යුවතියක්. ඇත්තම කිව්වොත් වැඩට යන නංගි කෙනෙක්. සාරියක් ඇදලා. ඇත්තටම හරි ලස්සනයි(ලු). යාළුවා මේ නංගිව පොඩිකාලෙ ඉදලම දන්නවලු. දහම් පාසලේ දි නැටුම් පන්තිවලදි වගේම ඒ නංගි ඉස්කෝලෙ යන කාලෙත් මේ නංගි යාළුවව දන්නවලු. ඊට පස්සෙ මේ නංගි උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාලෙත් ගියාලු. මේ කාලෙ වෙනකොට යාළුවට හදිස්සියෙම අවුරුදු කීපයකට විදේශ ගත වෙන්න වෙලා. යාළුව රට ඉදන් ආවට පස්සෙ දවසක විශ්ව විද්‍යාලෙට ගිය වෙලාවක නංගිව දැකලා. මේ වෙනකොට මේ නංගී හරිම ලස්සනයිලු. ඉතින් යාළුවටත් හිතක් පහල වෙලා. අවුරුදු ගානක් ලංකාවෙ ඉන්නෙත් නැතුව වෙන දේවල් දන්නෙත් නැතුව ඒ වගේ ලස්සන ළමයෙක් කැම්පස් ගිහින් තනිකඩව ඉදියි කියල මගෙ යාළුව හිතල නෑ. ඒක හන්ද හිතේ ප්‍රේමය හිරකරගෙනම ඒක මියැදෙන්න ඇරල ඉදල තියනවා.

තවත් අවුරුද්දක් විතර ගියහම යාළුවා යෝජිත විවාහයකින් විවාහ වෙලා. ඒ දවස් වලත් වැඩට යන‍ කොට මේ නංගි විශ්ව විද්‍යාලයේ අන්තිම වසරෙ අන්තිම හරියෙ දේශණ වලට යන්න බස් එකේ නගිනවා. නංගිත් යාළුවා එක්ක ලස්සනට හිනාවෙනවා. පස්සෙ යාළුවට දැනගන්න ලැබුනා (විශ්වාස දායක ආරංචි මාර්ගද දන්නෙ නෑ) ඒ ලමයා තාම තනිකඩ කියලා. මගෙ යාළුවට ඇතිවෙච්ච දුක ගැන කියන්න ඕනෙ නෑනෙ.

ඔහොම තව මාස කිහිපයක් මේ දෙදෙනා බස් රථයේ අහම්බෙන් මුන ගැහුනා. දැන් නංගී විශ්ව විද්‍යාලයෙන් සමු අරන් විශ්ව විද්‍යාලයේම instructor කෙනෙක් හැටියට වැඩ කරනවාලු. සාරි ඇදගෙන වැඩට යන්නෙ ඒකයි. මේ කියන දවසෙත් මේ නංගි යාළුවට හම්බවෙලා තියනවා. එදා ඒ නංගි යාළුවත් එක්කම බස් එකෙන් බැහැල ඒ එක්කම ඇවිත් තියනවා. යාළුව අහල කැම්පස් නේද යන්නෙ නංගි කියල. නංගිත් ඔව් කියල යාළුව නැග්ග සුඛෝපභොගී බස් රථයෙම නැගල යාළුව වාඩිවෙච්ච සීට් එකේම වාඩි වෙලා. ඉතින් දෙන්න කතා කර කර ගිහින්. කතාවෙ පොඩි තිගැස්මක් ඇතිවෙලා තියෙන්නෙ නංගී යාළුවගෙ අතේ තිබ්බ මංගල මුද්ද දැකපු වෙලාවෙ. යාළුව බැදපු බව නංගි දැනගෙන ඉදල නෑ. ඉතින් නංගිගෙ බලාපොරොත්තු සුන් වෙලා. පස්සෙ තමයි යාළුව දැනගත්තෙ ඒ නංගි එයා ගැන බලාපොරොත්තුවෙන් ඉදල තියන වග.

කොහොමත් ලංකාවෙ සංස්කෘතියට අනුව ගැහැනු ලමයි ඉස්සර වෙන්න යන්නෙ නෑනෙ. නංගිත් අයියා කොයි වෙලාවෙ හරි අහයි කියල තමයි ඉදල තියෙන්නෙ. කොහෙද? යාළුවා එතකොට බැදලත් ඉවරයි. යාළුව ඔය කතාව කිව්වා පස්සෙ කියන්න දෙයක් නැතුව මමත් ගල් ගැහිල බලන් හිටියා. ප්‍රේමය කියන එක කොච්චර දරුණු හැගිමක්ද?

Wednesday, March 17, 2010

ලෝකෙ රවුම්ද?

ලෝකෙ රවුම්ද? ඇත්තෙන්ම අහන්න තරම් ප්‍රශ්ණයක් නෙමෙයි තමයි. පහුගිය ටිකේ වැඩ වැඩි වෙලා තිබ්බ හන්ද පෝස්ට් එකක් ලියන්න තරම් වෙලාවක් තිබ්බෙත් නෑ. ඉතින් ඉඩක් හම්බවෙච්ච වෙලාවෙ අන්තර්ජාලෙ නිකන් ඉන්නකොට හොයන්න හිතුනා ලෝකෙ රවුම්ද කියලා.

අපි ලෝකෙ රවුම් කියල හිතුවට තාම ලෝකෙ පැතලියි කියල හිතන සෙට් එකකුත් ඉන්නවා. (හිතන්න එපා ඒ අර සීසර් ගෙ කාලෙ ගෝල් දේශයේ වැසියො කියල. මොකද ඒගොල්ලොනෙ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතාගෙන හිටියෙ) මේ අපි ජීවත්වෙන ලෝකෙම ඉන්න මිනිස්සු තමයි එහෙම හිතන්නෙ. හිතල නිකං ඉන්නවනම් තව කමක් නෑ. මෙන්න ඒකට හේතුත් හොයල ජාත්යින්තර පැතලි ලෝක සංගමය (International Flat Earth Society) කියල සංගමයකුත් හදාගෙන. අනේ මන්ද? මේ වගේ හිතන මිනිස්සු එක්ක අපිත් ඉන්නවනෙ. ඒ කාලෙත් (මට හරියටම මතක නෑ. ගැලීලියෝටද කොහෙද) පල්ලියෙ නිවාස අඩස්සියට පත්වෙන්න වුනෙත් ලෝකෙ ගෝලාකාරයි කියල. (වැරදි නම් මා නිවැරදි කරත්වා) ඉතින් තාමත් ලෝකෙ පැතලියි කියල හිතන අය ගැන කවරකතාද? ඒ අය ගැන දැනගන්න මේ යොමු පාවිච්චි කරන්න.

විකිපිඩියා යොමුව
සංගමයේ වෙබ් අවකාශය 1
සංගමයේ වෙබ් අවකාශය 2

Tuesday, March 02, 2010

ප්‍රේමය හැදින්නෙමි


ජීවිතය කොතරම් වෙනස්ද? එය විටක සුන්දරය. තවත් විටෙක රුදුරුය. ප්‍රේමය නැමති සද ජීවිතයට ආලෝකයක් සපයයි. මේ දවස් වල වෙන වෙනස් සංවේදි අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවීම නිසා දිනපොතේ ඒවා එකින් එකට සටහන් කිරීමට සිතුවෙමි.

ඇය මා දන්නා හොදම මිතුරියන්ගෙන් කෙනෙකි. අපි ඇයට නිලුකා යයි කියමු. කොළඹින් ඈත පෙදෙසක හැදී වැඩුන ඇය ප්‍රේමයට අත්පොත් තැබුවේ සරසවි බිමට පැමිනි අළුතමය. තමාට වඩා වසර කිහිපයක් වැඩිමහළු වූ පෙම්වතාව ඇය හදුන්වා දෙන ලද්දේ අයියා ලෙසිනි.

කාළය මෙන්ම ප්‍රේමයද ගලා ගියේ‍ය. අයියා ප්‍රසිද්ධ ආයතනයක උසස් රැකියාවක් ආරම්භ කලේය. නව නිවසක් සාදන ලදී. මේ සියල්ලටම නිලූකාගේ උදව්,ශ්‍රමය සහ මුදල් දායකත්වය ලැබුනි. නමුත් අනාගතය ගැන ඔවුන් සිහින දැක්කේ නැත.

අට වසරක් ගෙවී ගියේය. නිවෙස්වල මුල සිටම තිබු කුල මල බේදය ඔඩු දුවා තිබුනි. නිවසේ විරෝධතාවය මත අට වසරක ප්‍රේමය ගලක හැපුණු වීදුරු පාත්තරයක් ලෙස බිදී ගියේයෙ. ඔවුනතර දුරකතන සංවාද පමණක් ඉතිරි විය.

ප්‍රේමය බිදී තෙමසක් පමණ ගතවූ තැන අයියා මනාලියක් බැලීමය ගියේය. අයියා එයට කැමති වී මංගල්‍යයට දින නියම කරගෙන නිලූකාට දුරකතන ඇමතුමකින් එය දැන්වු‍වේය.

"ආ ඇත්තද? ගෑනු ලමයා හොදද? හරි හොදයි. ගුඩ් ලක්"

අයියාගේ ඇමතුමට ලැබුණු පිළිතුර සරලය. සෘජුය. කාලය ගෙවීගියේය. අයියාගේ මංගල දිනය එලැඹිනි. එදිනට පෙර දිනද අයියා නිලූකාට කතාකලේය. අයියා ඉක්මන් වීමේ වරද තේරුම්ගෙන තිබුනි. නමුත් නිලූකා පැවසුවේ දැන් පසුතැවීමට පමා වැඩි බව පමණි.

අයියාගේ මංගල දිනයේ නිලූකා මහත්වූ අසහනයකින් පෙලෙන්නට විය. ඒ මංගල ඡායාරූපයක් දැක බලාගන්නට‍ය. එහෙත් කිසිවෙකු ඇයට උදව්කලේ නැත. නිලූකා අය්යාට සුභපතා කෙටි පණිවුඩයක් යවන ලදී. හවස එයට ස්තුතිකොට අයියාගෙන් පිළිතුරු ලැබිනි. දවස අවසානයේ මහත් වෙහෙසක් දරා ඇය ස්තුති පත්‍රයක් (Thanking Card) එකක් සොයාගත්තාය.

"අයියට මට වඩා කොච්චර ලස්සන කෙල්ලෙක්ද හම්බවෙලා තියෙන්නෙ. ලස්සන සුදු මහත ම්.... අයියටම ගැලපෙනවා"


ඒ නිලූකාගේ අවංක අදහස්ය. තැන්ක් යු කාඩ් එක අතින් පිරිමදිමින් සිටින විට නෙතගින් කදුලක් වැටෙනු දුටිම්.

"අඩන්න එපා නිලුකා. ජීවිතේ හැටි ඔහොම තමයි. කවදාවත් අපිට ඕනෙ හැටි‍යට වෙන්නෙ නෑ"
ඒ මගේ හඩයි.

"නෑ නෑ දුකක් නෑග අයියා සතුටින් ඉන්නවනම් මට ඇති. එයාට ආයි මට කෝල් කරන්න එපා කියල මම පොරොන්දු කරගත්තා."

ඒ ඇයය.අට වසරක ප්‍රේමයක් බිදී ගොස් අපේක්ෂා භංගත්වයට පත්වුවද ඇය පැරණි පෙම්වතාට සුභ පතන්නීය. ඔහු කුමක් කළද කුමක් කීවද ඇය ඔහු කෙරෙහි අනුකම්පාව දක්වයි.

ඒ නියම ප්‍රේමයයැයි මම සිතමි. ඈත අතීතයේ සිටම ප්‍රේමයට සීමා මායිම් නැත. තම පෙම්වතිය වෙනත් කෙනෙකු හා සරණ බැදුනු විට

ඔබ දිවි අරණේ - රුවන් විජිතයේ
මැණික් පහන් වැට - දැල්වේවා

යයි ප්‍රාර්ථනා කලා මිස වෛර කලේ නැත.

නිලුකා... ඔබේ සිනාවෙන්, ඔබේ කතාවෙන්, ඔබේ ක්‍රියාවෙන් මම නියම ප්‍රේමය හැදින්නෙමි.


ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.