Sunday, February 28, 2010

තාත්තට පනස් අටයි

ඒ මගේ තාත්තාය. මට මේ ලොව සිටිනා, මා විස්වාස කරන, මා අදහන එකම මිනිසා ඔහුය. බුදුන් වහන්සේ මෙන් මා දකින එළෙසම මාගේ ගෞරවයට පාත්රටවු මිනිසා මගේ තාත්තාය.

මා මෙළොව එලිය දකින්නට මත්තෙන්ම මගේ අවශ්ය‍තා සොයා බැලු තාත්තා හැකි සැම අයුරකින්ම ඒ අවැසි දෑ පිරිමසාලන ලදී. මා ඉපදුනු පසු නේක විධ දුක් වේදනා විදිමින් හරිහමන් රස්සාවක් කුසට අහරක් නොමැතිව මා තුටින් තැබීමට ඔහුකළ මෙහෙය මා අවබෝධ කරගත්තේ මා කුඩාකළදිමය. පුතෙකුගේ අනාගතය උදෙසා පියෙකුගේ සිතුවිලි රැගත් ප්රේ මකුමාර ජයවර්ධනයන්ගේ

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ
නුඹගේ දෑතට -දිරිය වඩනනයි
සුහුඹුල් අත්පා යදඩු කරන්නයි
කිරි කැටි පුතුනේ..... කිරි කැටි පුතුනේ.....
පදවැල ජීව්තය පුරාම මා සිත පැහැරගත්තේ මාගේ පියා නිසාමය.

කාළය ගෙවී ගොස් ඇත. එකළ සුහුඹුල් අත්පා දැන් යද‍ඩු වී ඇත. හැකිවෙර යොදා ඔහු මා මනුස්සයෙකු කලේය. මුදලට මනුස්සකම විකිනෙන සමාජය තුල මනුස්සකම රැකගන්නේ කෙසේ දැයි හෙතෙම කියා දුන්නේය. මා සෞන්දර්යවාදියෙකු වුයේ ඒ බලපෑම මතය.

මට හොද අධ්යා.පනයක් ලබාදීමට වෙහෙස වූ තාත්තා මා උපාධිකාරයෙකු වූ දිනයේත්, පළමු වර උසස් පෙළ අසමත් වූ දිනයේත්, සාමාන්යෙ පෙළ ඉහලින්ම සමත් වූ දිනයේත් හැසිරුණු උපේක්ෂා සහගත බව මට හොදින් මතකය. මගේ තාත්තාට උපාධියක් නැති බව සැබෑය. නමුත් සමාජය විසින් ඔහු උගතෙකු කර ඇත.

තාත්තාට දැන් පනස් අටකි. මේ ඔහු විශ්රාතම සුවයෙන් කල් ගෙවිය යුතු සමය වුවත් තවමත් ඔහු අප වෙනුවෙන් වෙහෙස වී වැඩකරන්නේය. ගෙදරට මට තනිවම කන්න අදින්න උපයා දිය හැකි නමුත් ඒ සියල්ල මගේ ඉතිරියටැයි පවසා උදෑසනම නැගිට තාත්තා තම සේවා ස්ථානය වෙත යයි.

තමන්ගේ උපන්දිනය කවදාදැයි හරියට මතක්නොවන තාත්තා අප උපයා සපයාගත් දෙයකින් තෑගි ලෙස ඇදුමක් පාවහන් යුගලයත් වැනි යමක් දුන්විට නිරාමිස සතුටත් ලබයි.

තාත්තාගේ පනස් අටට වෙනසක් කලයුතුයයි සිතු මම එදිනට නිවසින් පිටතට චාරිකාවත් (Outing) යිමට තිරණය කළෙමි. මේ වසර පනස් අටටම උපන්දිනයකට එවැන්නක් සිදුනොවූ නිසා ඒ ගැන අදහසක් මා සිත්තුල ඇතිවිනි. තාලයත් සමග වැඩකටයුතු ලහි ලහියේ සිදුවිය. ඒ තාත්තාට හොරෙනි. අවසනදී ගමන ගැන තාත්තා‍ට කියන දිනය උදාවිය. ඒ වගකීම භාරගත්තේ අම්මාය. ඔහුගේ උපන් දිනය වෙනුවෙන් අපි එවැනි චාරිකාවත් සංවිධානය කර ඇතිබව තාත්තාට පැවසුවාය.

මගේ තාත්තාගේ මුහුණේ ඇදුනු හසරැල්ල ජීවිත කාළය තුළම ‍මගේ මතකයේ රැදී පවතී. ඒ මා ඔහුගෙන් ලද සුන්දරතම හසරැල්ලය. මා ඔහුගෙන් බලාපොරොත්තු වුයේද ඒ හසරැල්ල පමණි. ඔහු නැවතත් මගේ බලාපොරොත්තු ඉෂ්ට කලේය. ඒ හසරැල්ල මගේ ජීව්තයේ තවත් දශක ගනනාවකට බලාපොරොත්තු එක් කලේය.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

Monday, February 15, 2010

රට යන අත

පසුගිය වසරේ මැද වන විට ලංකාවේ පැවතුන තත්ත්වය ඔබට මතක ඇතැයි මම සිතමි. එය වචනයෙන් විස්තර කළ නොහැකි හැමදෙනාගේම සිත් අවධි කළ සමයක් විය. තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධයක් නිමාකොට මහා ත්‍රස්තවාදියා මරා දමා රටම කිරිබත් කා රතිඤ්ඤා පත්තුකර වීදි බැස ඒ සතුට සැමරෑ හැටි මට දැනුසු මැවී පෙනේ.

පරාජය පෙනි පෙනිද කොටි හිතවාදී මතවාද වලට ගරුකල පිරිස්ද අප අතර වුහ. යුද්ධයේ අවසානය ලගාවන විට එංගලන්ත වීසා කාර්යාලය අසල තිබු දිගුපෝලිම් ඇතිවූයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය නිසාවත් එංගලන්තයේ වෙසක් උත්සවය නිසාවත් නොවන බව ඕනැම කෙනෙකුට පැහැදිලි වෙනු ඇත.

මේ සටහන මා තැබීමට උපයෝගී කරගන්නේ කොටි හිතවාදියෙකු යයි හංවඩු ගසා සිටි පුද්ගලයෙකුගේ විවිධ status messages කිහිපයකි. ඔහුගේ මතවාදය කුමක් වුවද එම status messages මගින් අනෙකුත් රටවල් අප කෙරෙහි දැක්වූ සහ ඉදිරියට දක්වන ආකල්ප ඔබේ හදවතට දැනෙනු ඇත.

උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වු හෙතෙම කුඩාකල, යුද්ධයේ උණුසුම යාල්පානමේදි විද පසුව කොළඹට සංක්‍රමනය වුවෙකි. කළු ජූලිය නැමති සන්සිද්ධියට දාව ඔහුගේ පවුලේ බොහෝදෙනෙකුට එංගලන්තයේ සරණාගත වීසා ලැබුණු බව කටකතා මගින් මා අසා ඇත්තෙමි.

මෙවැනි අත්දැකීම් නිසා ඔහුට කොටි හිතවාදී මත දැරිමට අමු‍තුවෙන් ආරාධනයක් කළ යුතු නොවේ යයි මම උපකල්පනය කරමි.

සිව්වැනි ඊලාම් යුද්ධය නැමති කතාවේ ප්‍රධාන හැරවුම (Twister) ලෙස මා විසින් විස්වාස කරන තමිල් සෙල්වම් අපායට යැවූ ගුවන් ප්‍රහාරයෙන් පසු මේ පුද්ගලයාගේ ගූගල් ටෝක් status එක වුයේ “එකෙකු නැතිවුවද තවත් දහසක් උපදිනු ඇත” යන අරුත දෙන ඉංග්‍රීසි වාක්‍යයකි. අපි සිංහලයන් වුවද, යුද්ධය අපේ වාසියට හැරී තිබුනද අපි ඔහුගේ status වෙනුවෙන් යුධ ප්‍රකාශ නොකලෙමු. එය සිංහලුන්ගේ සුපුරුදු නිවට ගතියදැයි මම නොදනිමි.

යුද්ධය නිමා විමට සති දෙකක් තරම් කාලයක් තිබියදී හෙතෙම තම ගූගල් ටෝක් status එක පළිගැනීම අත ලගයි යන අරුත දෙන “Revenge is very near” යන වාක්‍යය යොදා තිබුනි. රජය මානුෂික මෙහෙයුම් දැඩි කල සමයේ ඔහුගේ ෆේස් බුක් status ලෙස තිබුනේ අහිංසක දෙමල ජනතාව සමුල ඝාතනය නොකරනු යන තේමාව රැගත් “ Stop genocide innocent Tamil people” යන්නයි. යුධ ජයග්‍රහන පිලිබද රස දැනෙමින් තිබුණු අප කිහිපදෙනෙක් පමණක් එවර ඔහු හා මතගැටුමකට එළඹිමු.

අවසානයේ ප්‍රභාකරන් මිය ගියේය. අපි ජයග්‍රහණය සැමරීමු. ඒ දිනවල එලියටවත් නොබැසි මේ පුද්ගලයාගේ status එක වුයේ මිනිසෙකුට දෙවරක් මිය යා හැකිද යන අරුත දෙන How man can die twice වැනි වාක්‍යයකි. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සියළු දෙනා ඔහුට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ. එවර ඔහුගේ මතවාද මෝඩ යයි අපට හැගුනද ඒවා සමග තර්ක කිරිමට තරම් අපගේ මතවාද ශක්තිමත් නොවීයයි මට කිහිපවරක්ම සිතුනි.

යුද්ධය අවසාන වී සති දෙකක් ගතවිය. සිංහලයන් වූ අපිට සියළු දේ අමතක කල හැකි විය. දිනපතා අප හා වාද කරමින් සිටි මිනිසා පසුව අප සමගින් හොදින් වෙනදාටත් වඩා අත්වැල් බැද ගනිද්දී ප්‍රභාකරන් කියු ලෙසටම අපට සියළු දේ සති දෙකෙන් අමතක කලෙමු. ඒ කාලයේ දී පැරණි මතවාද අළුත් කරන සුළු status නිතරම ඔහුගේ Profiles වල පල විය. ඒවා අපට මතක නැතිවා වගේම යුද්ධය ද අමතක නිසා ඒ පිළිබදව වගක්වත් නැත.

යුද්ධය අවසාන වී හය මසක් ගෙවුන තැන අවස්ථාවාදී දේශපාලනය ක්‍රියාත්මක විය. යුද්ධයේ නියම උරුමක්කාරයන් දෙපසට බෙදී කදවුරු ලාගත්හ. රටේ ජනතාව දෙපසට බෙදුනි. සංඝ සමාජය, කලාකරුවන් මිතුරන් වෘත්තිකයන් ටද වුයේ දෙපසට බෙදිමටයි. සැමදා තිබු වෛරී දේශපාලනය වඩාත් කුළුගැන්වුනි. අවසානයේ අවස්ථාවාදීන් සහ අන්තවාදීන් මේ විරසකය නිසා ජයගත්හ. හිතට දැනෙන්නාවු status එකක් මේ දිනවලදී ඔහුගේ Profiles වල විය. “සිංහල වී‍රයෝ යුධ වදිති. අවස්ථාව එනතුරු බලා සිටිය යුතුය”.

මුලින් ඔහු ප්‍රසිද්ධියේම තම ඡන්දය දෙමළ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන බව පැවසීය. ඒ තම මතවාද ඉදිරියට ගෙන යා හැකි යයි ඔහු විස්වාසය තැබුවේ එම අපේක්ෂකයා කෙරෙහිය. නමුත් ඡන්දය ලංවන විට ඔහු තම මතය වෙනස් කලේය. ඒ දෙමළ අපේක්ෂකයාට වඩා ප්‍රබලයෙක් සිටි බැවිනි.

ඡන්දය අවසන් විනි. ඔහු බලාපොරොත්තු වූ අපේක්ෂකයා පරාජයට පත්විය. වෙනත් කෙනෙකු ජනාධිපති විය. අද වන විට තත්ත්වය බරපතලය. එක් අපේක්ෂකයෙකු නිවාස අඩස්සියේය. මහින්ද හරි හෝ ෆොන්සේකා හරි යයි හෝ මම නොකියමි. ඔවුන් වීරයෝය. නමුත් අවස්ථාවාදී දේශපාලකයන් නිසා වූ විනාශය ඔහු දකින්නේ මෙසේය.

Political Game is going on… But there is no referee… Spectators are asked not to comment on it… Hee hee.., this country is sinking…

දේශපාලන ක්‍රීඩාව ආරම්භ වී ඇත. නමුත් විනිසුරුවරයෙකු නැත. ප්‍රේක්ෂකයන් අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටී.. මේ රට ගිලෙමින් පවතී.

සහතික ඇත්තය. මේ ර‍ට ගිලෙමින් පවතී. මේ ලෝකයේ බහුතර ජාතිවාදීන් සහ කොටි මතවාද දකින ආකාරයයි. අවස්ථාවාදීන්ට තවත් අවස්ථාවන් ලබා දිය යුතු නැත. රටක් ලෙස අප එක්සත් විය යුතුය.



Saturday, February 13, 2010

ජීවිතය නැමති වනන්තරය

‍ජීවිතය යනු තනි රූස්ස ගසක් නොවේ. එය තවත් එවැනිම වූ ගස් වලින් සෑදුනු වනයක් විය යුතුය. තනි ගසකට අනෙකුත් ගස් නොමැතිව පැවැත්මක් නැත. ආරක්ෂාවක් නැත. සහයෝගයක් නැත.

අනෙකුත් ගස් වලට වඩා උසින් සිටින විට වැසි කාලයේ අකුණු සැරට ලක්වේ. එවිට ගස හා බැදි සියළු ලතාවන්ද සමගින් ගස මියැදේ.

මීදුමෙන් ගස මුදුන ආවරණය වී පවතින තාක් ගසට තමා සිටින්නේ කොතැනදැයි නොවැටහේ.

Wednesday, February 10, 2010

ශතකය


මා මේවන විට මාගේ බ්ලොග් අඩවි සදහා පෝස්ට් 100ක් පමණ ලියා ඇත්තෙමි. එය එක්තරා ආකාරයකට අභියෝගාත්මක සන්තෝසයකි.

මා බ්ලොග් කරුවෙකු වූයේ 2006 වසරේ අගභාගයේදීය මාගේ බ්ලොගර් ප්‍රොෆයිලය ඊට සාක්ෂි දරයි. බ්ලොග් ගැන හරි හැටි අවබෝධයක් නැතිව වුවද එකල මම බ්ලොග් ලිවීම ඇරඹුවෙමි. බ්ලොග් වලට වඩා පෞද්ගලික වෙබ් පිටු (Personal Home Pages) පිළිබද මගේ අවධානය යොමු වූ අවධියකි ඒ.

බ්ලොග් ලිවීම ඇරඹුනු සමයේද හදිසි රිය අනතුරකට ලක්වු බැවින් එම ලිවීම ලත් තැනම ලොප් විය. නැවත වසරකට පමණ පසු බ්ලොග් ලිවීම අරඹන විට මට මගේ පරිශිලක නාමය සහ මුරපදය මතක තිබුනේ නැත. (වාසනාවකට ගූගල් සමාගම විසින් බ්ලොගර් අඩවිය මිලදී ගෙන තිබුනු නිසා මගේ බ්ලොගර් ප්‍රොෆයිලය තවමත් එසේමය)

කාලය මෙලෙසින් ගෙවී යන විට පාසල් සමයේ කල කී දෑ තුලින් උපන් ආශාව සිත තුල නලියන්නට විය. එම නිසා පසුගිය වසරේ හරියටම මැද ඒ ආසාව සන්සිදුවා ගත්තෙමි. ඒ පෞද්ගලික වෙබ්පිටුවකට ඈදුනු බ්ලොග් අඩවි පහක් නිර්මාණය කිරිමෙන් පසුවය.

මා ගරුකරන ආසා කරන විවිධ මාතෘකා ඔස්සේ එකිනෙකට වෙනස් බ්ලොග් අඩවි නිර්මානයට මා පිවිසුනේ එලෙසය. ඉස්කෝලේ අටේ පන්තියේ සිසුවෙක්ව සිටි සමයේ මාගේ සංස්කාරකත්වයෙන් එලිදුටු කඩවර පුවත්පතේ එක පිටුවක් මා වෙන්කලේ අරලියගේ දිනපොත වෙනුවෙනි. එදා ඒ උත්සාහය අද ඔබ කියවන අචිරගේ දිනපොත ලෙස සයිබර් අවකාශයේදි කියවනු ලබයි. විවිධ මාතෘකා ඔස්සේ මගේ අදහස් මම ඔබට කිවේ මෙම බ්ලොග් අඩවිය ඔස්සේයි.

මම උපතින්ම ‍බෞද්ධයෙක්මි. තවමත් එසේමය. අනාගතයටත් එසේම‍ය. කලෙක මම හේතුවාදයත් බුදුදහමත් අතර පැටලී සිටියෙමි. මට දැනෙන ආකාරයට ඒ අවුල තවමත් මා ලෙහාගෙන නැත. එම නිසා බුදුදහම හේතුවාදියෙකුගේ ඇසින් විවරණය කිරිමට මම උත්සාහ කලෙමි. එය කොපමන දුරකට සාර්ථක වූවාදැයි මම නොදනිමි. උතුම්වු බුදුදහම පිලිබද Path to freedom බ්ලොග් අඩවියෙන් ඔබට ඒ පිළිබදව විචාරය කල හැකිය.

තාක්ෂණය යනු මම කැමතිම මාතෘකාවකි. මන්ද යත් කරන්නාවූ රැකියාවේ පටන්ම මගේ ජීවිතය තාක්ෂණිකරනය වි ඇති නිසාය. ලැබෙන සොයාගන්නාවු විස්තර සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඔබ වෙත ලියන්නේ එබැවිනි.

කලාවෙන් තොර මිනිසත්භාවයක් මිහිපිට නොමැත. කුඩාකල සිටම මම පොත පත සංගීතය සමග ගැවසුනෙමි. එම නිසා කලාව උදෙසාද බ්ලොග් අඩවියක් මම විවෘත කලෙමි. පසුකාලීනව ගිටාර් සටහන් උදෙසා වෙනම වර්ඩ්ප්‍රෙස් අඩවියක් ඇරඹුවේ එය වෙනම ආර්ට් එකක් යයි මා සැලකුව බැවිනි. ගිතයක කෝර්ඩ් ප්‍රස්ථාරය මෙන්ම පදරචකයා සහ තනු නිර්මාපකයාද එහි අඩංගු වෙන්නේ සියල්ලන්ගේම දැනගැනීම පිණිසය.

මට සිටින්නේ සීමිත පාඨකයන් පිරිසකි. සතිපතා කියවන අය සිටින්නේ අතක ඇගිලි ගනණට මදක් වැ‍ඩියෙනි. හොද කමෙන්ටු ලැබෙන්නේ බොහෝවිට දුරකතනයෙනි. නැතිනම් ඊ මේල් එකකිනි. බ්ලොග් මාකටින් නොකරන බැවින් පාඨක පිරිස ගැන මා එතරම් උනන්දුවක් නැත. එහෙයින් මගේ කිසිම බ්ලොග් එකකට ගූගල් ඇඩ්සෙන්ස් නැත. මා මුලික කොටම බලාපොරොත්තු වන්නේ රසවින්දනය අදහස් සහ දැනුම පමණි.

දේශපාලනය මම අප්‍රිය කරන මාතෘකාවකි. මට පැහැදිලි දේශපාලන දර්ශණයක් ඇතත් ඒ වෙනුවෙන් කඩේගොස් මගේ බ්ලොග් පිරවීමෙන් වැලකී සිටිමි. මගේ බ්ලොග් අඩවි Gossip Lanka හෝ විපක්ෂයේ Lanka e News හෝ ආන්ඩුවේ Lanka c News වැනි වෙබ් අඩවි වලින් වෙනස් වන්නේ එබැවිනි.

සිංහලෙන් බ්ලොග් ලිවිමේදි මුහුණ දෙන විශාල ගැටළුවක් වන්නේ සිංහල ටයිප් කිරිමයි. විජේසේකර පුවරුව අත ගැටි ඇතත් ඒ වෙනුවෙන් අමතර කාලයක් වැය කිරිමට සිදුවෙයි. මන්දයත් රැකියා ස්ථානයේ වෙහෙස වී නිවසට පැමිණ පවුල් කාරයෙකු වීම නිසා ගෙදර තවත් වැඩ මා සතුව ඇති බැවිනි. සති අන්තයක් යනු පශ්චාත් උපාධියේ ව්‍යාපෘති වෙනුවෙන් කල් මැරිමක් සිදුකරන කාල වකවානුවකි. ලැබෙන හැම විවේකයකදීම පැරණි දින පොතක සටහනක් තබා තවත් විවේකයකදී එයට සිංහලෙන් අකුරු ඇමිනිය යුතුය. දන්නා ආකාරයෙන් ව්‍යාකරණ හා නණලළ භේද නිවැරදි කළ යුතුය. ඇතැම් සටහන් අසම්පූර්ණවද කල් ඉකුත් වුද ඒවා වූ විට ඒවා පළකිරීමෙන් තේරුමක් නැති නිසා එම සටහන් අපතේ යයි.

ඉදින් මා මේ ප්‍රකාශ කලේ බ්ලොග් කරුවෙකු වූවිට විදින්න වෙන අකරතැබ්බ ස්වල්පයක් පිළිබදවයි. කෙසේවෙතත් තවත් කරුණු සොයාබලා හැකි හැම විටකම ඔබ වෙනුවෙන් මෙම අඩවි යාවත් කාලීන කරමි.



Image Resource


Sunday, February 07, 2010

බාන් බඩී

අද තවත් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. ඉන්ටර්නෙට් ගැන දන්න අයට ‍‍ෆේස්බුක් කියන දේ අළුත් දෙයක් වෙන්න බෑ. ඒ වගේම ෆේස් බුක් ගැන දන්න අය බාන් බඩී ගැන නොදැනගන්න විදිහකුත් නෑ. දන්නෙ නැති අයටත් එක්ක චුට්ටක් ඒ ගැන ලියන්න කියල තමයි හිතුවෙ. බාන් බඩී කියන්නෙ ෆෙස්බුක් එකේ එක් ජනප්‍රිය ක්‍රීඩාවක්. අපි වවමු රට නගමු කියන සංකල්පයත් එක්කම ලංකාවේ තරුණ තරුණියන් පොඩිලමයි අතර ජනප්‍රිය වෙච්ච රියල් ටයිම් ක්‍රිඩාවක් තමයි මේක.

ආරම්භයේදි ක්‍රීඩකයාට පාත්ති හය කින් යුක්ත කොටුවක් හම්බ වෙනවා. ඒ සමගම කාසි (coins) 1000 කුත් ණය කාසි (Credits) 125 කුත් (ඉස්සර නම් 1000) ලැබෙනවා. ඒවා වියදම් කරමින් එලවළු පලතුරු මල් ආදිය මිළට ගෙන වගාකරමින් පළදාව විකුනමින් ඉදිරියට යන්නයි තියෙන්නෙ. ඕනැම එලවළුවකටම පළතුරකට හෝ මල් වර්ගයක‍ට නියමිත ගැනුම් මිළක්, විකුණුම් මිළක් සහ වගා කාලයක් තියනවා. පලදාව ගැනීමට නියමිත කාළය එනතුරු බලා සිටිය යුතුයි. නමුත් ඒ කාළය අඩු කරගැනීමට විවිධ පෝර වර්ගද විකිනීමට තියනවා. ක්‍රීඩාවේ උණුසුම වැඩිකිරිමට අනිත් අයගේ පලදාව සොරාගැනීමටත් පුළුවන්. ඒවගේම අනිත් අයගේ පාත්තිවලට පලිබෝධකයින් සහ වල් පැළෑටි එක් කල හැකියි. ඒවා ඉවත් කරන විට අත්දැකීම් ලකුණු (Experience Points) ලැබෙනවා. ඒවා මත අපිට තරගයේ ඉහල මටිටම් (Levels) වලට ගමන් කළ හැකියි.

තමන්ගේ ඉපැයුම් වලට සාපේක්ෂව ගොවිපලට ගවයින්, එළදෙනුන්, බැටළුවන් වැනි සතුන් මිලදී ගත හැකියි.

ආරම්භයේදී හොද පහසු ක්‍රීඩාවක් වෙච්ච මේක පසු කාලීනව වාණිජකරණයට ලක්වුනා. දැන් බොහොමයක් දේ ලබාගැනීමට ණය පත් භාවිතා කළ යුතුයි. ඒක ක්‍රීඩාවේ ජීවගුණයට කෙළින්ම බළපානවා.

ඕනෑම තරගයක් සදහා Cheats තියනවා. බාන් බඩී වලටත් චීට්ස් නැද්ද? හුගක් අයට තියන ප්‍රශ්නයක්. අසීමිත ණය සහ කාසී (Unlimited Credits & Coins) ගන්න හැමෝම ආසයි. බොහෝ දෙනෙක් මේ පිළිපද අන්තර්ජාලය තුල විමසීම් කරල තිබ්බා. එහෙම කරල ඒවට ඇති විනෝද ජනක පිළිතුරුත් ලැබිල තිබ්බා. මේ වගේ ක්‍රිඩාවකට චීට්ස් ඇති කියල මමත් විස්වාස කරන්නේ නෑ. කෙසේ නමුත් බාන් බඩී යනු හොද ක්‍රීඩාවක්.

ඉස්පිරිතාල කතා

ඉස්පිරිතාලෙ කියන්නෙ අපි කවුරුත් එච්චර කැමති තැනක් නෙමෙයි. ඒත් අපේ මොකක්හරි අවුලක් හන්ද යන්න වෙන තැනක් තමයි එතන. ඒත් කවුරුත් කැමැත්තෙන් යන්නෙ නෑ. පහුගිය අවුරුදු ගානකට කලින් මමත් ඔය ඉස්පිරිතාලවල සෑහෙන කාලයක් හිටියා. මේ දවස් වල මල්ලි පොඩ්ඩත් ඉස්පිරිතාලෙ. මමත් එයාගෙ තනියට දවසක් විතර හිටියා. ඒකාලෙ ඉන්නකොට මම ලබපු අත්දැකීමුයි මේ දවස් වල ලබපු අත්දැකීම් ටිකකුයි එකතු කරල පෝස්ට් එකක් දාන්න හිතුනා.

හුගක් ඉස්පිරිතාලවල වාට්ටුවල තියනවා යෝජනා සහ පැමිණිලි කියල පෙට්ටියක්. සති ගානක් ඕක දිහා බලන් හිටියත් කවුරුත් ඕකට මුකුත් දාන්නෙ නෑ. දොස්තර මහත්තුරු නර්ස් නෝනල හිටියට කවුරුත් ඕක ඇරල බලන්නෙත් නෑ. පස්සෙ අපි තීරණයකට ආවා ඕක පිටිපස්සෙ මොකක්හරි මගඩියක් තියනවා කියල. ඔව්. යෝජනා කියන්නෙ සමහර විට ඔතන ඉන්න සමහර ලස්සන නර්ස් නෝනල‍ හරි දොස්තර නෝනලට හරි ලෙඩ්ඩු කටින් කරන්න බැරි යෝජනා වෙන්න ඕනෙ. එතකොට පැමිණිලි කියන්නෙ පමණ ඉක්මවා යෝජනා කරපුවහම ඒ නර්ස් නෝනල‍ හරි දොස්තර නෝනල දාන ඒවා වෙන්න ඕනෙ.

ලස්සන නර්ස්ල හරි දොස්තර නෝනල හරි කිව්වහම මතක් වෙන්නෙ ඒගොල්ලො ඇත්තටම ලස්සන කරුණාවන්තනම් ලෙඩ්ඩුන්ගෙ ලෙඩ ඉක්මනටම හොද වෙනවා. ඉස්සර (ඉස්පිරිතාලෙ නම කියන්නෙ නෑ) හිටියා කිසිම හැඩයක් නැති අවුරුදු 45ක් විතර වෙච්ච නර්ස් නෝනා කෙනෙක්. මගේ ජනප්‍රිය අර්ථ දැක්වීම් වලට අනුව එයා බැරල් බාගයක්. ඒ කියන්නෙ ඇගේ හැඩයක් නෑ නිකන් බැරල් එකක් වගේ. පෙරලි පෙරලි තමයි එන්නෙ. අවුරුදු 20ක් විතර හෙද සේවයේ හිටියත් කරුණාව කදුළක් නෑ එයාගෙ මුනෙයි වැඩ වලයි. එයාට බාර දිල තිබ්බ රාජකාරිය තමයි (ඒ දවස් වල) වාට්ටුවෙ ලේ වාර්තා වලට ලේ ‍එකතු කරන එක. ඉතින් මෙයා උදේ පාන්දර 4 ට විතර කටුත් අරගෙන එනවා නම් කෑ ගහ ගහ. එන වෙලාවෙ හැටියටයි කරන වැඩේ හැටියටයි තිබ්බ අනුකම්පාවෙ හැටියටයිග සිරින්ජියත් අරගෙන එන විදිහටයි ලෙඩ්ඩු මෙයාට කිව්වෙ “මදුරුවා” කියල. ඒත් මදුරුව වුනත් ලේ බොන්නෙ ඌට විදින්න පුළුවන් තැනකින් චුට්ටයි. ඒත් අපේ මිසීට නියපොත්තෙන් හරි කමක් නෑ ලේ ගන්න පුළුවන්නම්. ඉතින් මිසී ගියහම ලෙඩ්ඩු අතගගා ඉන්නවා දවස පුරාම.

කල් යනකොට කාගෙ වුනත් අත්දැකීම් වැඩිවෙනවනෙ. ඒක හන්ද ගොඩක් ලෙඩ්ඩු කැමතියි වයසක නර්ස් නෝනලට ඇවිත් කැනියුලා, ඉන්ජෙක්ෂන් එහෙම ගහනවනම්. එතකොට රිදෙන්නෙ නෑනෙ. එක පාරක් තරුණ මිසී කෙනෙක් ඇවිත් මගෙ අතට කැනියුලා එකක් සවිකලා. මං හිතන්නෙ ඒ මිසි ගොඩක් අත්දැකීම් ගන්න ඇති ඒකෙන්. මිසී කොච්චර හොදට ඒක හයි කලාද කියනවනම් අතේ නහරෙකට එක පැත්තකින් ගහපු කටුව මතු වුනේ අනිත් පැත්තෙන්. ඉතින් මිසීට හීන් දාඩිය මහ දාඩිය ඔක්කොම දාල. ටික වෙලාවකින් ඒ මිස්ගෙ උදව්වට ආපු අනිත් මිසිටත් එහෙමයි. මගෙ අතින් ලේ ගලන හැටි දැකල දෙන්නම බය වෙලා. ඊට පස්සෙ වයසක මිසී කෙනෙක් ඇවිත් ඒ දෙන්නට ඔරෝල අනිත් අතට කැනියුලා එක සවි කලා. ඒ බයවෙච්ච පාර දවස් ගානක් යනකන් ඒ මිසී මං ඉන්න හරියට ආවෙ නෑ. හැබැයි ඉතන් නර්ස් නෝන ලස්සන නම් ඒ තුවාල එච්චර රිදෙන්නෙ නෑ J. ඒක හන්ද මල්ලිට කැනියුලා එක හයි කරන්න කියල එක තරුණ මිස් කෙනෙකුට කිව්වම ඒ මිස් එතන එහායින් හිටපු තරුණ ලස්සන නර්ස් කෙනෙක් පෙන්නල එයාට කියල හයි කරගන්න කිව්වා. ( අන්න බලන්න තමන් ගැන නිවැරදි අවබෝධයක් තියන මිසීල)

තවත් ලෙඩ්ඩු ඉන්නවා තමන්ව බලන දොස්තර, දොස්තර නෝනා හො හෙදිය මත රුධිර පීඩනය වෙනස් වෙන. ඒක වුනෙත් එක ඉස්පිරිතාලෙකදි. ඒ වාට්ටුවෙ හිටියා සීමා වාසික පුහුණුව ලබන ලස්සන තරුණ දොස්තර නෝනා කෙනෙකුයි දොස්තර මහත්තයකුයි. ඊට අමතරව ලස්සන හෙදියන් කිහිප දෙනෙ‍කුත් හිටියා. වාට්ටුව බාරව හිටියෙ අඩි හයහමාරක් විතර උස කළු වයස 50ක් විතර වෙච්ච සැර විශේෂඥ වෛද්‍යවරයෙක්.

ලේසියට අපි ඒ ලෙඩාට නිමල් කියමු. නිමල් ඉස්පිරිතාලෙට ඇතුලුවුනේ වෙන ලෙඩකට. මට ලෙඩේ මතක නෑ. උදේ හවස ලෙඩ්ඩුන්ගෙ රුධිර පීඩනය බලන වෙලාවෙදි ඒකෙ අසාමාන්‍ය පාඨාංක තිබ්බා. උදේ බැළුවෙ දොස්තර නෝනා. ඒකෙ හැටියට නිමල්ට හොදටම ප්‍රෙෂර්. ඒක හන්ද නිමල්ට ඒ සදහා බේත් නියම වුනා. හවස බැලුවෙ දොස්තර මහත්තයා. එතකොට සාමාන්‍යයයි. දොස්තර නෝනා හරි නර්ස් නෝනල හරි බලන වෙලාවට නිමල්ගෙ ප්‍රෙෂර් වැඩියි. ලොකු දොස්තර මහත්තය මේක බලල බලල එක පාරක් නිමල් ගෙන් මේක ඇහැව්වා. නිමල් මුකුත් කිව්වෙ නෑ. බැරිම තැන නිමල්ට සැර කලා. බය වෙච්ච පාර මෙන්න නිමල්ගෙ ප්‍රෙෂර් හොදටම වැඩිවුනා. අන්තිමට ලොකු මහත්තයට මේක තේරුම් ගියා. පස්සෙ ප්‍රෙෂර් වලට නැතුව අදාල ලෙඩේට විතරක් බේත් කරල නිමල්ව ගෙදර යැව්වා.

මේ බ්ලොග් සටහනේ අන්තිමට කියන්න ඕනෙදෙයක් තියනවා. ඒ මම ආසාවෙන් කියවපු බ්ලොග් සටහනක් තමයි එකේ වාට්ටුව. ඒක දැන් නැවතිලා. මාස ගානකින් යාවත් කාලින වුනේ නෑ. ඇයි දන්නෙ නෑ?