Tuesday, December 14, 2010

ජපුර ආයෙත් ඇවිලිලා ලු

ඊයේ රෑ ප්‍රවෘත්ති බලනකොටයි මේ සිද්ධිය දැනගත්තෙ. අනේ මන්දා. ඉගෙන ගන්න ගිය ළමයි කරන දේවල්. ගල් ගහල ආරක්ෂක කුටියෙ වීදුරු බිදින ඒවත් ප්‍රවෘත්ති වල තිබ්බා. ළමයි එහෙම කලේ පන්ති තහනම් කරපු ශිෂ්‍යයින් පස් දෙනෙක්ගෙ පන්ති තහනමට විරෝධය පලකරන්න කියලයි ප්‍රවෘත්ති වලට කිව්වෙ. ඇත්ත මොකක්ද දන්නෙ නෑ. ඒ ඇත්ත නම් ඉතින් පස්‍ දෙනෙක් හන්දා ගොඩ දෙනෙක්ගෙ අධ්‍යාපනය බිද වැටීමක්.

මේ දේවල් වලට හුගක් හොද උත්තර ලබාදෙන්න වටිනා ලිපියක් පසුගිය දිවයින පුවත් පතේ තිබ්බා. ඇත්තටම වටින ලිපියක්. ඒ ලිපිය මෙම යොමුවෙන් ලබාගෙන කියවන්න.මම හිතන්නෙ යමක් ලබා ගත හැකි වෙයි.

Wednesday, November 24, 2010

අම්මේ .... මං ආදරෙයි

මම අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉදන් ඇවිත් මාසයයි. තාමත් වැඩට ගියෙ නෑ. යන්න තරම් හයියකුත් තාම නෑ. ඒ අස්සෙ විශ්ව විද්‍යාලෙ අන්තිම වාර විභාගෙ.කලිනුත් කරන්න බැරිවුන විෂයයන් දෙක තුනකුත් තියන හින්ද මේ ගමන වැඩිපුර මහන්සි වෙන්නත් ඕනෙ. අනික අසනීපයි කියල හැමදාමත් ගෙදර ඉන්න බෑනෙ. ලබන සතියෙ වත් වැඩට යන්න ඕනෙ. විභාගෙත් හැමවෙලාවෙම මගෙ හිතේ. හෙ‍ට වරුණලගෙ බෝඩිම පැත්තෙවත් ගියොත් මොනවහරි ඔළුවට දාගත්තැහැකි කියල මට හිතුනා. මාසයක් විතර තිස්සෙ අල‍ ගෙඩිය වගේ ගෙදරටම වෙලානෙ හිටියෙ. ඉතින් හෙට යන එක ගැන අම්මට දැනුම් දෙන්න ඕනෙ.


"අම්මේ...."


රෑ නාට්ටිය බල බල ඉන්න අම්මාට මම ඇමතුවා.


"ඇයි පුතේ...."


හැමදාම ඇහෙන ලයාන්විත ස්වරයෙ කිසි වෙනසක් නෑ.


"අම්මෙ මම හෙට වරුණලගෙ බෝඩිමට යනවා පාඩම් කරන්න"
" ඒ කියන්නෙ බත් එකක් බදින්න ඕනෙද?" ඒ අම්මා.
"ඔව් හවස් වෙනකන් පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ"
"හා පුතේ"
අම්මගෙ ස්වරයෙ පොඩි හැඩුම්බර ගතියක්.
"ඇයි අම්මේ"
"කොහොමත් මම ආයෙමත් තනිකමට හුරුවෙන්න එපායැ. මයෙ පුතා ලබන සතියෙ ඉදන් ආයෙ වැඩට යනවනෙ."


අම්මගෙ ඒ වචන ටික මාව ලෝකෙ අතරමං කරල දැම්මා.

Wednesday, November 03, 2010

රෝහල් අත්දැකීම්

පසුගිය සති කිහිපයක් ආයෙත් ජාතික රෝහලේ සෙවන ලබන්න සිද්ධවුනා. කලින් හිටපු දවස් වලත් මගේ ජීවිතයට ගොඩක් අත්දැකීම් එකතු කරගත්තා.  ඒ අත්දැකීම් මම පස්සෙ වෙලාවක ලියන්නම්. මේ ලිපියෙනුත් මම කියන්න හදන්නෙ රෝගීන්ගෙ පැත්තෙන් මට ඇසුරු කරන්න හම්බවෙච්ච කීපදෙනෙක් ගැන. රෝහල ගැන විස්තර තවත් ලිපියකින් ලියන්නම්.

අසනීප වෙච්ච වෙලාවෙ මාව ඇතුලත් කලේ වාට්ටුවක තිබ්බ කාමරේකට (Cubicle). ඔය කාරයෙ තිබ්බෙ ඇදන් තුනයි. මම මැද ඇදේ. දෙපැත්තෙ ඇදන් වල හිටියෙ අවුරුදු 65ක් හා 68ක් වෙච්ච විශ්රා මික දෙන්නෙක්. එක්කෙනෙක් කළුතර පැත්තෙ බොහොම භය පක්ෂපාත ගැමියෙක්. මට හැමවෙලාවෙම කතාකලේ පුතේ කියල. හරිම අව්යාොජ ගතියක් ඔහුතුල තිබ්බා. ජීවිතේ බොහොම පොඩිතැනක ඉදල වෙර වීරියෙන් ගොඩනගා ගත්‍‍ කෙනෙක්. මහා ලොකු සල්ලි කාරයෙක් නෙමෙයි. ඒත් තමන්ගෙ හැකියායෙන් උපයා සපයා ගත් දේවල් ගැන ආඩම්බරයෙන් මාත් එක්ක කිව්වා. ඒක පුරාජේරුවක්මත් නෙමෙයි. එහෙම නෙමෙයිමත් නෙමෙයි. එයාට පුත්තු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පිරිමි හෙදවරයෙක්. තේරෙන සිංහලෙන් කියනව නම් මේල් නර්ස් කෙනෙක් ඔන්න. ඒ ලමයා තමයි තාත්ත බලන්න එන්නෙ. පුතා සෞඛ්ය ය ක්ෂේත්ර යෙ හන්ද තාත්තාට ඒ ගැන සෑහෙන අවබෝධයක් තියනවා. තමන්ට වෙන ගොඩක් දේවල් බොහොම උපේක්ෂාවෙන් මේ මනුස්සය විදගන්න හැටි මම බලාගෙන හිටියා. දොස්තරලා කියන දෙයක් හා මහත්තය කියල පිළිගත්ත මේ මනුස්සයා හැම වෙලාවෙම දොස්තරලට පින් දුන්නා. තමුන් ගෙ ලෙඩේ හොදකරගන්න ඒ අය ගන්න උත්සාහය බොහොම ඉහලින් අගය කලා. වතාවක් තමන්ට සවිකරල තිබ්බ සේලයින් බෝතලය ඉවර වෙලා අනිත් අත‍ට ලේ ගමන් කරලත් තිබ්බා. ඒක වෙලාවට අයින් කරන එක හෙදියගෙ කටයුත්තක්. මොකක් හරි වෙලා හෙදියට පැය බාගයක් යනකන් එන්න වුනේ නෑ. මේ පුද්ගලයා කිව්වෙ ඒ මිසීලට මගෙ වැඩ විතරක් නෙමෙයි නෙ තියෙන්නෙ. තව කොච්චර ලෙඩ්ඩු මේ වාට්ටුවෙ  ඉන්නවද කියල. (හැබැයි පරක්කු වෙලා ඇවිත් සේලයින් එක ගලවන ගමන් හෙදිය ටිකක් තදින් කිව්වෙ “ පොඩ්ඩක් කියන්න එපායැ. අපිට තව වැඩ තියනවනෙ” කියල තමයි. මට ඉතින් අනේ මන්ද කියල හිතුනා.

අනිත් පැත්තෙ හිටියෙ ඊට හාත්පසින්ම වෙනස් අදහස් තියන කෙනෙක්. විශ්රා මික පොලිස් පරික්ෂක කෙනෙක්. කිසිම කෙනෙක්ගෙ හොදක් දැක්කෙ නැති මේ මනුස්සයා හැම කෙනෙක් දිහාම බැලුවෙ හොරෙක් මංකොල්ලකාරයෙක් දිහා බලන විදිහට. තමන්ගේ පරණ වෘත්තිය හන්ද වෙන්න ඇති. කලින් සදහන් කරපු අහිංසක ලෙඩාගෙ කිසිම හොදක් මෙයා දැක්කෙ නෑ. ඒ පුද්ගලයා ජීවත්වෙච්ච පැත්ත හරි නෑ කියල ඔහු ඒ පුද්ගලයා හැදින්වුවෙ හොරෙක් විදිහට. හැබැයි එයා ඒ පැත්තෙ ඉදල තියෙන්නෙ මීට අවුරුදු 35කට විතර කලින් ලු. ආයි ඊට පස්සෙ ඒ පැත්තෙ ගිහිල්ලත් නෑ. ඒ කාලෙයි මේ කාලෙයි වෙනස් කියල තේරුම් ගන්න එයාට ටිකක් විතර අමාරුයි.

බෙහෙත් පෙත්තක් ඉස්පිරිතාලෙ නැතිවුනොත් “මුන් තමයි කම්බ හොරු! ඕවා ඉවර වෙනවා කියල කලින් දන්නෙ නැද්ද? කලින් ගෙන්නුවනම් වැඩේ ඉවරනෙ” කියල කිහිප දවසක්ම මේ ලෙඩා කියල බැන්නා අපිත් එක්ක. හැමදාමත් එකම වගේ බනින එක තමයි කරන්නෙ. මෙයා දියවැඩියා රෝගියෙක්. රෝහලෙන් තමයි කෑම ගන්නෙ.  දියවැඩියා රෝගියෙකුට ඉස්පිරිතාලෙන් විශේෂ කෑම වේලක් ලබා දෙනවා. ඒ අයට විශේෂ මාළු කැබැල්ලක්, එළවළු සහ පලතුරු හම්බවෙනවා නොමිලෙම. එක දවසක් කෑම බෙ‍දන එක්කෙනාට වැරදිලා මේ මාළු කෑල්ල බෙදන්න අමතක වෙලා. අර මනුස්සයා බැනුම් අහපු තරම්.

ඔන්න තවත් වතාවකදි දොස්තර මහත්තය ඇද ඉහපත වාර්තාවෙ බෙහෙතක් ලියල. ලියන වෙලාවෙම පෑන ඉවරවෙලා. ඊට පස්සෙ ලියපු ටික තරමක් අපහැදිලි හන්ද බෙහෙත් දෙන්න ආපු හෙදිය ආයෙත් දොස්තර මහත්තයා හම්බවෙන්න ගියා. දොස්තර මහත්තයගෙ පෑන ඉවර වෙච්ච “පාපයට” ඒ මහත්තයගෙ මුළු පරම්පරාවම හොරු මංකොල්ලකාරයො හරියට වැඩක් කරන්නෙ නැති මීනී මරුවො වගේ විශේෂන පද වලින් බැනුම් ඇහැව්වා.

හැබැයි ඉතින් ටිකට් කපන දවසෙ වාට්ටුවෙ කාර්යය මණ්ඩලයටම කේ‍ක් ගෙඩි දෙකකුත් අරන් දීලයි මෙයා ගියෙ.

තවත් රෝගියෙක් හම්බවුනා එක්ස් රේ කාමරේ ගාවදී. වෘත්තියෙන් නාට්ටාමි කෙනෙක්. රෝගෙ මොකක්ද කියල හරියට දන්නෙ නෑ. හැබැයි දැන් ලෙඩේ පාලනය වෙලා තියෙන්නෙ. දොස්තරල කියල තියනවා බොන්න එපා. බිව්වොත් එදාට මේ ලෙඩේ හැදෙනවා කියල. අනේ ඉතින් මේ මනුස්සය අවුරුදු එකහමාරක් නොබී ඉදල. යාළුවෙක්ගෙ තාත්තගෙ මරණයක් දවසක දුක වැඩි වෙලා නොබී ඉන්න බැරිවෙලා. ඉතින් එදා හොදටම අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගෙනත්. මේ මනුස්සයා මාර විදිහට දුක් වෙනවා. තමන් ගැන නෙමෙයි.  රෝහල් කාර්යය මණ්ඩලය ගැන. අනේ මම එදා නොබී හිටියනම් මේ අයට මෙච්චර කරදරයක් නෑනෙ. මාව හැමතැනම එක්කගෙන යන්නත් ඕනෙ. මේ පරික්ෂණ වලට ආණ්ඩුවෙ සල්ලි කියල කොච්චර යනවද? කියල.

අනෙ මං දන්නෑ අයියෝ.... මිනිස්සු හරිම විවිධාකාරයි.

Friday, October 29, 2010

වාහනයට තෙල් ගහනකොට.....

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්නෙ. පෙරේදා හවස මට වෙච්ච දෙයක් ගැන කියන්නයි මේ ලියන්නෙ. ඔයගොල්ලොත් ටිකක් අවධානයෙන් මේ දේ මීට පස්සෙ බලයි කියල මම හිතනවා.

මේ සිද්ධිය වුනේ ගොඩගම ඉදන් පාදුක්ක අතර තියන පෙට්‍රල් ෂෙඩ් එකකදි. හරියටම මොකේද කියන එක හරි නැති හන්ද කිව්වෙ නැත්තෙ. (හැබැයි එහෙම කියන එකෙත් වැරැද්දක් නෑ). වෙලාව රෑ 10ට විතර ඇති. අපි වාහනේ ගමනක් ගිහින් එනකොට පෙට්‍රල් ගහන්න කියල ඔය කියන සේවා ස්ථානයට ගොඩවැදුනා. ඒ වෙලාවෙ ටැංකියෙත් පෙට්‍රල් තරමක් තිබ්බා. අත්දැකීමෙන්ම දන්නවා තව රුපියල් 2000-2250 ක විතර පෙට්‍රල් වලින් ටැංකිය කට මට්ටමට පි‍රෙන බව. ඉතින් අපි රුපියල් 2000ක පෙට්‍රල් ගහන්න තිරනය කලා.

සාමාන්‍යයෙන් හුගක් ඉලෙක්ට්‍රික් පොම්ප තියන තැන්වල සටහන් කරල තෙල් පුරවන්න පුළුවන් 1000 ක විතරයි. (හරියටම දන්නෙ නෑ. හුගක් තැන්වල 2000ක් කිව්වහම කරන්නෙ 1000 +1000 කියල දෙපාරකට පුරවන එක. ඒ ඇයි කියල කියන්න නම් දන්නෙ නෑ. ) ඉතින් මෙතනත් පළවෙනි 1000 පුරවන්න හැදුවා. පොම්පය තියෙන්නෙත් තරමක අදුරෙ. ඉතින් තෙල් පුරවන වෙලාවෙ මීටරේ හරියට පේන්නෙ නෑ.

රුපියල් 1000ක පෙට්‍රල් පිරෙන්න තරමක වෙලාවක් යනවා. නමුත් ඊට වඩා ඉක්මනින් තෙල් පිරුණ බව අපිට දැනුනා. පිරිච්ච ඇසිල්ලෙන්ම අනිත් 1000ත් සලකුණු කරල තෙල් පුරවන්න එතන හිටපු සේවකයා යුහුසුලු වුණා. ටැංකිය සම්පුර්ණයෙන් පිරුනෙත් නෑ. තව ටිකක් ඕනෙ ඇති කියල ඒ වෙලාවෙ හිතුනා. ඒත් තරමක සැකයක් පැන නැගුනත් ඉතින් කරන්න දෙයක් තිබ්බේ නෑ.

තෙල් පුරවලා අවසානයේදී මේ සේවකයා "හරිද?" කියල අහන්නත් අමතක කලේ නෑ. මේක ඉතින් හරි ඇති කියල හිතල අපිත් පිටත් වුනා.

මගේ වාහනයට පෙට්‍රල් ගහපු ගමන් මාපකය සටහන් වෙන්නෙ නෑ. ඒකට ටිකක් වෙලා යනවා. සාමාන්‍යය වේලාව ඉක්මවුවත් කටුව අතරමැද නතර වෙලා. අන්තිමේ ගෙදර එනකොටත් ඒ ප්‍රමාණෙම තමයි. පහුවෙනිදා උදේ මාපකයෙ අවුලක්ද කියලත් බැලුවා. නමුත් එහෙම දෙයක් නෑ. ටැංකියෙ තෙල් ප්‍රමාණය බලන කොට තමයි වැඩේ තේරුණේ.

පළවෙනි වතාවෙ 1000ක කියල ගහල තියෙන්නෙ 100 ක. දෙවනි වතාවෙ තමයි 1000 ක නිවැරදි ප්‍රමාණෙට ගහල තියෙන්නෙ. අන්තිමට ඉතින් 900ක් මට පාඩුයි. සේවකයාට ඒ දේ වැරදුනාද? එහෙම නැත්තම් හිතල මතල ඒ දේ කලාද කියල හරියටම කියන්න බෑ. ඒ බව අපි ගිහින් කතා කලත් ඔප්පු කරන්නත් බෑනෙ.

පාඩුව විදගන්න තමයි වෙන්නෙ. මීට පස්සෙ නම් මම ගොඩක් මේ ගැන අවධානය යොමු කරනවා. ඔය ගොල්ලොත් එහෙම වෙයි කියල මම හිතනවා.

Thursday, September 16, 2010

කැළණියේ ඡායාරූප චාරිකාව

පසුගිය දවසක අපේ ඡායාරූප සංගමයෙ කට්ටිය නිවාඩු පාඩු වෙලාවක කැළණි පන්සලේ ඡායාරූප ටිකක් ගන්න කියල යන්න හිතුවා. ඉතින් එදා උදේ පාන්දර 6ට විතර අපි කැළණියට ගියා. ශිෂ්‍යයන් විදිහට අපි යන හින්දා අපේ ගුරුවරු මේ ගමන ගැන පන්සලේ ස්වාමින්වහන්සේලා දැනුවත් කරල අවසර ගන්න කියල අපිට කියල තිබ්බා.

මේ හේතුව හන්දා එදා පාන්දර කැළණිය පන්සලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න මමත් තව මිතුරෙකුත් පිටත්වුනා. අපිට මදකට කලින් එතනට ගිය වැඩිහිටියන් දෙදෙනෙකුත් තරුණ මහත්තයෙකුත් මංගල ඡායාරූප ගන්න අවසර ඉල්ලපු වෙලාවෙ ලොකු හාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලා.
ඊට පස්සෙ අපි. කලින් කෙරුණු කතාව ගැන ටිකක් තේරුණ හන්ද තරමක් චකිතයෙන් ගිහින් ලොකු හාමුදුරුවන්ට අපේ අවශ්‍යතාවය කිව්වා.

ලොකු හාමුදුරුවො ඊ‍ට පස්සෙ තමයි මංගල ඡායාරූප ගන්න කැළණි විහාරය නොදෙන්න හේතුවුන  කතාව කිව්වෙ. ඒක හරිම සාධාරණ හේතුවක්. බෞද්ධයො විදිහට පන්සලක් කියන්නෙ බොහොම ගෞරවයෙන් සලකන්න ඕනෙ තැනක්. කැළණිය කියන්නෙ ඊටත් වඩා බෞද්ධයන්ට වැදගත් ස්ථානයක්.

වර්ථමානයේ ඡායාරූපකරනය පැත්තෙන් හිතනකොට කැළණිය කියන්නෙ පසුබිම සදහා මනරම් දසුන් මවන තැනක්. එතන හරියට රජ මාලිගාවක් වගෙයි. ඉතින් කාලයක් තිස්සෙ ඡායාරූප ශිල්පියො මංගල ඡායාරූප වලටත් කැළණි විහාරයෙ පසුබිම් යොදාගෙන තිබුණා. නමුත් අවාසනාවන්ත තත්ත්වය ඇතිවෙන්නෙ  මෑත කාලයේ දියි.  කැළණියේ වැදගත් කම නොදත් ඡායාරූප ශිල්පීන් ඉන්නවා කියන්නෙ බොහොම දුක්බර කාරණයක්. පසුගිය කාලෙ දිගින් දිගටම වෙච්ච සිදුවීම් බොහොම කණගාටුදායකයි කියලයි ලොකුහාමුදුරුවො අපිට පැවසුවෙ. ධාතු නිධන් කරපු දාගැබ‍ට පිටදීල බොහොම අනුරාගිකව ගත්ත ඡායාරූප ගැනත් උන්වහන්සේ අපිත් එක්ක කිවුවා. උන්වහන්සෙ පවසපු ආකාරයට එහෙම වෙච්ච පළවෙනි අවස්ථාව ඒක නෙවෙයි. ඉතින් බෞද්ධයන් ඉතා ආදරයෙන් වන්දනාමාන කරන ඒවගේ ස්ථානයක ගෞරවය කෙළෙසන විදිහට හැසිරෙන එක ඡායාරූප ශිල්පයටත් කරන අගෞරවයක්.

ලොකු හාමුදුරුවො අවසාන වශයෙන් අපිට පැවසුවෙ ඡායාරූප ගැනිම යනු හුදෙක් කැමරාවට මුහුණ දීම පමණක් නොවේ කියන පණිවිඩය ඡායාරූපකරනයෙ නියුතු පරම්පරාවට දන්වන්න කියල.

Thursday, September 09, 2010

තවත් දුක හිතෙන කතාවක්

මීට අවුරුද්දකට විතර කලින් ලියපු ලිපියක් එක්ක මේ ලිපිය සම්බන්ධ වෙනවා. ඒ ලිපිය මෙතනින් බලාගන්න පුළුවන්. ඒ ලිපිය ලිව්වෙ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන්. ඉතින් මේ ලිපිය සම්බන්ධ වෙන්නෙ ඒ මරණෙට එන්න බැරිවුන පුතා වෙනුවෙන්.

මේ වගේ කතාවක් කවදාවත් ලියන්න වෙයි කියල මම හිතුවෙ නෑ. ඒත් අන්තිමට එහෙම වුනා. ඒ නැන්දගෙ අවසාන කටයුතු ඉවරවෙලා දවස් 10 කින් විතර ඒ පුතා ලංකාවට ආවා. ඒ එනකොට එයා කොච්චර දුකෙන් හිටියද කියල කියන්න ඕනෙ නෑනෙ. ඒ ගමන ආවෙ එයා විතරයිග පවුලෙ අය ආවෙ නෑ. තවත් මාසයක් විතර පුතා ලංකාවෙ හිටියා. ඊට පස්සෙ ආයි රට ගියා. තමන්ගෙ තාත්තා ආයෙත් තනිවෙනවා කියන හැගීම එයාට තිබ්බත් කරන්න දෙයක් තිබ්බෙ නෑ මං හිතන්නෙ. ආයෙත් රට යනකොට තාත්තාට මාස ගණනාවකට ඇතිවෙන්න කෑම බීම ගෙදරින් ගෙනත් තියලයි ගිහින් තිබ්බෙ.

කොච්චර කෑම බීම සැප සම්පත් තිබ්බත් තනිකම කියන දේ ඊට වඩා ගොඩක් වැඩි හන්ද ඒ මාමා පොඩි පවුලකට ( අම්මයි, තාත්තයි, පොඩි ලමයෙකුයි ඉන්න පවුලක්)ගෙදර ඉන්න කිව්වා. එතකොට අඩුම තරමෙ කෑම බීම ටිකවත් වෙලාවට හම්බවෙනවනෙ. කාලය තවත් මාස කීපයක් ගෙවුනා.

ගිය මාසෙ දවසක කවුරුත් නොහිතපු විදිහට නරක ආරංචියක් ආවා. හෘදයාබාධයක් හන්ද ඒ අයියා රට දීම මියගියා කියන එක. ඒ ආරංචියත් ඒ මාමා ගොඩක් අමාරුවෙන් විදගන්න ඇති. සති දෙකකට පස්සෙ ඒ අයියගෙ මෘතදේහය ලංකාවට ආවා. අම්මගෙ අවුරුද්දෙ දානයට මාසයක් තියෙද්දි පුතාගෙ නිසල දේහය ගේ මැද තියනකොට තාත්ත කෙනෙකුට මොනව හිතෙනව ඇද්ද?.

ඒ අයියගෙ අවුරුදු දෙකහමාරක පොඩි එකා මිනී පෙට්ටිය වටේ සෙල්ලම් කර කර ඉන්නවා. තේරුමක් නෑනෙ ඒ ඉන්නෙ තාත්ත කියල.

අයියගෙ කටයුතු වෙනුවෙන් මුළු ගමම සුදානම් වුනා. ඔහු වෙනුවෙන් සුදානම් වෙච්ච බැනර් එකක් අදටත් හන්දියෙ ගහල තියනවා.

“ආදර මිතුර පිය සෙනෙහස එපාදෝ - හොරෙන්ම විත් මවු තුරුලට ගියාදෝ”

මේක දකින ඒ මාමා කොච්චර හිතෙන් මැරි මැරි උපදිනවා ඇතිද?


ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

Monday, August 16, 2010

මා කවුද


මා සතුව රියදුරු බලපත්‍රයක් ඇත. පැදවීමටද දනිමි. නමුත් මම රියදුරෙකු නොවෙමි.මා සතුව පරිගනකයක් ඇත. ක්‍රියා කරවීමටද දනිමි. නමුත් මම පරිඝණක ඉංජිනේරුවෙක් නොවෙමි.මා සතුව කැමරාවක් ඇත. මට ඡායාරූප ගැනීමටද හැකිය. නමුත් මම ඡායාරූප ශිල්පියෙකු නොවෙමි. මට මෙන්ම බොහෝ අයටද මේ ප්‍රවීනතා ඇත්තේය. මීට වඩා ප්‍රවීනතා එමට‍ය. එම ප්‍රවීණතා ප්‍රගුණ කර ඇත්තේය. නමුත් බොහෝ දෙනා ශිල්පීන් නොවෙති. සියළුම මිනිසුන්ට හදුනාගැනීමට අනන්‍යතා පත්‍රයක් ඇත. නමුත් බොහෝ දෙනාට මිනිසුන් පමණක් නොව තමන්ව වුවද හරිහැටි හදුනාගත නොහැකිය. හදුනාගැනීමේ බලපත් සැමටම ඇතත් ඔවුන් සියල්ලම මිනිසුන් නොවෙති.

Thursday, July 22, 2010

ගෙදර බුදුන් අසනීපෙන්

බොහොම කාලෙකින් බ්ලොග් එකක් ලියන්න තියල කියවන්නවත් එන්න බැරිවුනා. වැඩකරන තැන වැඩ වැඩිවුනා විතරක් නෙමෙයි කැම්පස් වල විභාග කටයුතුත් අම්බානකට තිබ්බා. ඊයෙත් පොඩ්ඩක් වේලාසනින් ගෙදර යන්න පුළුවන් වුනා. ගෙදර ගිහින් මගේ වැඩක් කරගන්නවා කියල හිතාගෙන. මොකද කාර්යාලයෙ වැඩ නැතිවුනාට අනිත් වැඩ තියනවා මදි නොකියන්න. සිහින සැබෑවෙන්නේ නිදාගැනීමෙන් නොව ඒ සදහා නිදිවර්ජිතව වෙහෙසීමෙන් කියන එක මම අදහන දෙයක්. ඒක හන්දා මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ.
ඊයෙ ගෙදර යනකොට ගෙදර ටිකක් වෙනස්. පාළුයි. සද්දයක් වත් නෑ. පොඩ්ඩක් විපරම් කරල බැලුව ඇයි කියල. අම්මා පේන්න නෑ. චුට්ටක් අම්මලාගෙ කාමරයට එබිල බලන කොට අම්මා ඇද උඩ නිදි.  අම්මට අසනීප වෙලා. කාලෙකට කලින් තිබ්බ අසනීපයක් ආයෙත් මතුවෙලා. අම්මට දැන් ඇවිදින්න බෑ. සමබරතාවය නැතුව ගිහින්. ඉස්සර ඉදන් අම්මා මේ ලෙඩේට බෙහෙත් ගත්තා. හුග කාලෙකින් හැදුනේ නෑ. ඒත්....
අම්මා ඉන්න විදිහ දැක්කහම මගේ ලෝකය කඩා වැටුනා. කරන්න ගිය දේවල් මුකුත් මතක නෑ. රෑට කන්න තරම් වත් සිහියක් නෑ. මේ ලෝකෙ මොනතරම් දුකක් මම ඉවසුවත් මගෙ අම්ම තාත්ත දුක් විදිනකොට මට ඉවසන්න බෑ. ඒ කොච්චර කලත් ඒ අය මාව මෙච්චර ලොකු කරල තවමත් මං වෙනුවෙන් දුක් විදිනවා.
පොඩිකාලෙ ඉදන් මගේ ජීවිතේ ආත්ම ප්‍රකාශනය වුනේ ඒ දෙන්නා. හැමදේකටම ගුරුහරුකම් ගත්තෙත් ඒ දෙන්නගෙන්. පහුගිය සතියෙදි මට මං ගැන හිතන්න අවස්තාවක් ආවා. ඒ වෙලාවෙදි තමයි මට තේරුනේ ඒ රත්තරන් මිනිස්සු දෙන්නා වෙනුවෙන් මම මොනවද මෙච්චර කාලෙකට කරල තියෙන්නෙ කියල. දෙන දෙයක් කාල වෙන දෙයක් වෙද්දෙන් කියල හිටියා මිසක් ඒ අය වෙනුවෙන් දැනෙන මුකුත් කලේ නෑ කියල මට හිතුනා. කොච්චර ලොක්කෙක් වුනත් (ලොක්කෙක් කිව්වට ලොක්කෙක් නෙමෙයි) තාම කන්නෙ අම්ම තාත්ත දෙන දේ නේද කියල හිතිච්ච වාර අනන්තයි.
එහෙම හිතල උදෙන්ම නැගිටල අම්මට උයන්න උදව්වෙන්න හිතුවා. සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවක නම් ඉතින් ගෙදර මිදුල අතුගානවා. රෙදි අව්වට දානවා. (ඊට පස්සෙ ඉතින් කොම්පියුටරේ ඇතුලෙ). අනේ සතියෙ දවස් වලට අම්මා ඒවත් ඔක්කොම කරල උදේ 4ට නැගිටල උයන්නත් ඕනෙ. ඊට පස්සෙ රෑ 10 විතර වෙනකන් අම්මට නිවනක් නෑ වැඩ. මේ දවස් වල උයන්න උදව් වුනා. ඒක හිතට ටිකක් සහනයක්.
ඒත් ඉතින් අද උදේ නැගිටල අම්මත් නැතුව උයන්න ගියහම තමයි උයන එකේ අමාරුව තේරුනේ හරියටම අද.
උදේ වැ‍ඩට යන්න එන්න හදනකොට අම්මා ඇදෙන් නැගිටලා පුටුවක වාඩිවුනා. හිතට මාර සන්තෝසයි. අම්ම‍ට ඉක්මනට හොද වෙයි. ඊට පස්සෙ මගෙන් වෙන්න තියන දේවල් අඩුවක් වෙන්න තියන්නෙ නෑ.... කවදාවත්ම.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි

Thursday, June 03, 2010

මේ දවස් වල වෙච්ච දේවල් ටිකක්

මම මේ ලියන්න යන‍්නෙ පහුගිය දවස් වල සිද්ධ වෙච්ච දේවල් ටිකක්. සිදුවීම්. හිනා යන දේවල් මුකුත් නෑ. කලින්ම කිව්වා ඔන්න.

පළමු සිදුවීම

මගේ ඥාති සහෝදරයෙක්ගෙ මංගල්‍යය උත්සවය පැවැත්වුනේ වෙසක් දවසට කලින් දවසෙ. ඉතින් වෙසක් පෝය දවසෙ අපි ඒ ගෙදරට ගියා උදව්වෙන්න කියල. වෙසක් දවස හන්ද දන්සැල් වැහි වැහැල. ඉතින් කට්ටියටම ඕනෙ වුනා දවල්ට දන්සැලකින් කන්න. උදේ දහයට විතර නැන්දා ඇවිත් කිව්වා ගෙවල් ලග ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් තියන කතාවක්. ඔන්න ඊට පස්සෙ බත් කන්න හිටපු අපිට දැන් ෆ්‍රයිඩ් රයිස් ඕනෙ වෙලා. දැන් බලන් ඉන්නෙ රතිඤ්ඤා පත්තු කරනකන් පෝලිමට යන්න. දොලහ වෙනකොටත් රත්ඤ්ඤා පත්තු වුනේ නෑ. ඒ වුනාට බඩගින්න නම් පත්තුවෙලා තියනවා. මල්ලි ඉතින් ඉන්න බැරිම තැන බයිසිකලෙත් අරන් ගිහින් බලල ආවා. අයියෝ පස්සෙ බලනකොට දන්සැල හෙට. පස්සෙ සනාගෙ ත්‍රී විල් එකේ නැගල ගියා කිලෝමීටර් දහයක් විතර. ෆ්‍රයිඩ් රයිස් තියා බත් වත් නෑ. පස්සෙ පාන් එක්ක සීනි සම්බෝල දන්සැල් දෙකකටයි නුඩ්ල්ස් දන්සැල් එකකටයි, බෙලිමල් සිසිල් බීම දන්සැල් දෙක තුනකටයි ගිහින් බඩගින්න අඩුකරගත්තා. ආපහු එන්න එනකොට ගෙදරට කිලෝමීටර් දෙකක් විතර තියෙද්දී ත්‍රීවීල් එකේ පෙට්‍රල් ඉවර වුනා. ඒ කිලෝමීටර් දෙකත් තල්ලු කරගෙන ෂෙඩ් එකක් ගාවට එනකොට ආයි බඩගිනියි. ගෙදර ගිහින් ආයිත් නැනදගෙන් බත් පිගානක් ඉල්ලගෙන කෑවා.

දෙවන සිදුවීම

මගේ ඥාති සහෝදරය මධුසමය ගත කරල දවස් දෙකකට පස්සෙ ආයෙත් කොළඹ ආවා. ඇවිත් එදා රෑ නැවතුනේ ගාළු මුවදොර හෝටලයෙ. හවස 7ට විතර මගින් මාව වාහනේට දාගත්ත ආයි ඒක ගෙදර ගේන්න ඕනෙ හන්ද. තවත් අඩුම කුඩුම ටිකක් අරන් අපි වෙසක් ට්‍රැපික් එක අස්සෙ යන්තම් කොම්පඤ්ඤවීදියට එනකොට රෑ 10ට කිට්ටුයි. කොම්පඤ්ඤවීදියෙන් කෙලින්ම අපේ අවශ්‍ය ස්ථානයට යන්න පුළුවන් වුනත් එතන තිබුණ වෙසක් තොරණ හන්ද පොලිස් රාළහාමිල ඒ පාර වහල තිබ්බා. ඉතින් ආයෙත් හරවගෙන කොල්ලුපිටියට ගිහින් තදබදය අස්සෙ ගාළු මුවදොර වට රවුමට එනකොට රෑ 12.05. හෝටලය පැත්තට හරවනකොටම එතන හිටපු රාලහාමි කියපි ඒ පැත්තට හරවන්න බෑ කියල. මම කිව්වා රාලහාමිට අපිට යන්න ඕනෙ හෝටලයට කියල. රාලහාමි බෑම කියනවා. මම ඇහැව්වා එහෙනම් හෝටලයට යන්න වෙන පාරක් තියනවද කියල. වෙන පාරකුත් නැහැල්ලු. ඊට පස්සෙ රාලහාමි අහපි මොකටද හෝටලේට යන්නෙ කියල. මගේ හැටි දන්න හන්ද අයියා පැනල උත්තර දුන්නා හෙට මගෙ හෝම් කමින් එක ඒකටයි යන්නෙ කියල. හා එහෙනම් යන්න කියල රාලහාමි කිව්වා.

තුන්වෙනි සිදුවීම

මට තියෙන්නෙ පොඩි මරුටියක්. ඉන්ධන පිරිමැසුම් හන්දයි ගත්තෙ. වායුසමීකරණයෙ කාර්යක්ෂමතාවය වර්ධනය වෙන්න කියල හිතල වාහනේ වීදුරු ටිකක් අදුරු (ටින්ට්) කලා. ඔන්න පහු වෙනිද අයියගෙ හෝම් කමින් (මං හිතන්නෙ සිංහලෙනුත් හෝම් කමින් තමයි) යනකොට තවත් රාලහාමි කෙනෙක් වාහනේ නැවැත්තුවා. නවත්තල කියනවා මහත්තය ඔය ටින්ට් එක ගලවන්න. නැත්තම් 5000ක් දඩ ගහනවා කියල. මම ඇහැව්වා ඒ ඇයි කියල. පස්සෙ බලනකොට එහෙම නීතියක් දාලා. ඔක්කොම ඉතින් අපිට තමයි. අපරාදෙ. පස්සෙ මම ටින්ට් එක ගැලෙව්වා.

හතරවෙනි සිදුවීම

මම වාහනේ අරන් යන්තම් මාස 5යි. ගන්න පුළුවන් කමකට නෙමෙයි. ලීසිං වල ගනන් අඩුවෙච්ච හන්දයි ගත‍්තෙ. ආණ්ඩුවෙන් හුගක් බදු අඩුවුනා. දැන් මගෙ වාහනේ විකුණන්න එහෙම බෑ. මොකද තව ටික දවසකින් මම ගත්ත පාවිච්චි කරපු කාර් එකට වඩා අඩුවට අළුත් එකක් ගන්න පුළුවන්. දැන් ඉතින් ගත්ත එක පාවිච්චි කරනවා ඇරෙන්න මාරුකරන්න අදහසක් නෑ.

තව ඔය වාගේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුනා. කියල වැඩක් නෑ අප්පා. ඒක හන්ද කියන්නෙ නෑ.

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි

Tuesday, June 01, 2010

සිංහල බ්ලොග් කෙරුවාවට අවුරුද්දයි


ඔන්න මමත් සිංහල බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දක් වුනා. කාලය ගෙවිල යනවා දැනුනෙම නැහැ. බ්ලොග් කරුවෙක් වෙලා අවුරුදු හතරකට කිට්ටුවෙන්න ආවත් සිංහල බ්ලොග් ලියන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. මම ලියන මගේ බ්ලොග් පහක් තියෙනවා. නමුත් අවිවේකය හන්ද නිතරම යා‍වත්කාලීන වෙන්නෙ ඒවායින් කීපයක් පමණයි. අචිරගේ දිනපොත කියන්නෙ එහෙම යාවත්කාලීන වෙන එක බ්ලොග් පිටුවක් විතරයි. හැබැයි මම මගේ බ්ලොග් සින්ඩියක් තුලට ඇතුලත් කලේ ලගදි. සිංහල බ්ලොග් සංසදයෙ වගේම ලාංකීය සිතුවිලි තුලත් මගේ බ්ලොග් තියනවා.

මම බ්ලොග් ලියන්නෙ මට නිදහස තියන වෙලාවට මට වැදගත් කියල හිතෙන දේ ගැනයි. මමත් නිතර කියවන බ්ලොග් කීහිපයක් තියනවා. ඒවා ගැනත් පුංචි සදහනක් නොකර බෑ. හෙලයාගේ මියුsick විතරයි, ඉන්දිකගෙ එකේ වාට්ටුව, කස්සාගේ The Last Row, දොඩන් අයියගෙ හද ගී පොත, Taboo ගෙ Taboo Subject වගේම මාධවගෙ Photography Blog එකත් අනිවාරයයයෙන් කියවන ඒවට වැටෙනවා.

ඉතින් මගේ බ්ලොග් ඉස්සරහටත් කියවයි කියල බලාපොරොත්තු වෙනවා.

Wednesday, May 19, 2010

ප්‍රේමයේ අතුරු ඵල


මම මේ කියන්න යන්නෙත් කතාවක්. හැබැයි ටිකක් වෙනස් විදිහෙ. සංවේදි එකක් නම් නෙමෙයි ඔන්න. පසුගිය සතියේ මගෙ යාළුවෙක් ගෙදර ඇවිත් එයාගෙ විවාහ මංගල්‍යයෝත්සවය කියල ගියා. යාළුවෙක් කිව්වට දුරින් නෑදෑකෙනෙකුත් වෙන‍වා. ගෑණු ළමයෙක්. අවුරුදු 10 ක විතර ප්‍රේමයක අවසාන ඵළය. කතාවෙ ආරම්භය සිද්ධවෙන්නෙ මෙහෙමයි. මේ කියන මගේ යාළුවා මට වඩා මාස දෙකක් විතර වැඩිමල්. හැබැයි හරිම ලස්සනයි. සුදු කොන්ඩෙ දිග බොහොම ප්‍රිය මනාප කෙනෙක්. ඉතින් අපි සාමාන්‍යය පෙළ කරල ඉවර වෙච්ච කාලෙ ඉතින් කඩ්ඩ හදාගන්න කඩු හරඹ පන්තියි පරිගණක දැනුම වැඩිකරගන්න ඒ පන්තියි යනවනෙ. (දැන් තාලෙ වෙනස්, කාලෙ අළුත් හන්ද) ඒ කාලෙ එහෙමයි.

ඉතින් ඔය කාලෙ මේ යාළුවත් ඔය පන්තියකට ගියා. ඇහැට කණට පේන දැරිවි හන්ද ඉතින් අයියල පොරේ. කොහොම කොහොම හරි කල් යල් බලල තවත් හොද හැදිච්ච පිරිමි ළමයෙක් මෙයාගෙන් යාළුවෙන්න ඇහැව්වා. ඒ ළමයගෙත් වරදක් නැති හන්ද සහ මෙයාගෙත් කැමැත්ත ඇබිත්තක් තිබ්බ හන්ද කිව්වා “මට ඕවට මුකුත් කියන්න බෑ. ඇවිත් ගෙදරින් අහන්න” කියල. අපිත් හිතුව වැඩේ එතනින් ඉවරයි කියල. මොන? එතනින් තමයි පටන් ගත්තෙ. මේ ළමයත් එයාගෙම වයසෙ. යන්තම් සාමාන්‍ය පෙළ ඉවර කළා විතරයි. ඔන්න පහු වෙනිදම මේ ලමයා යාළුවගෙ ගේ දොරකඩ. යාළුවා හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියල. ඔන්න ඉතින් කෙලින්ම ප්‍රශ්ණය යාළුවගෙ තාත්තට යොමු කළා.

මාමණ්ඩි අළුත් බෑනගෙ විස්තර ඇහැව්වා. ඒත් කෙරුවාව ගැන එච්චර පැහැදීමක් නෑග තාම පොඩි එකෙක්නෙ. යන්තං ඕ ලෙවල් ඉවර වුනා විතරයි මගුල් කතා කරන්න එනවා රස්සාවක් වත් නෑනෙ. ඉතින් මාමණ්ඩි කිව්වා මෙහෙම. “මගෙ දුව මම හැදුවෙ දොස්තර කෙනෙකුට හරි ඉංජිනේරුවෙකුට හරි දෙන්න. පුතාට තාම රස්සාවක් වත් නෑනෙ. ඉතින් පවුලක් ගෙනියන්නෙ කොහොමද? කවද හරි දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙලා ඇවිත් කතා කරන්නකො” කොල්ලත් ඇරියෙ නෑ. කිව්ව මාමණ්ඩිට මෙහෙම. “ හරි මම එහෙනම් මම එන්නම්, හැබැයි මාමත් වචනෙ ඒ විදිහටම රකින්න ඕනෙ”. යාළුවට මාර සන්තෝසයි. ඊට පස්සෙ මේ ළමයා ගණිත විශයයන් කරන්න පටන් ගත්තා. මේ වෙද්දී දෙන්නා යන්තම් කතා කරනවා එච්චරයි.

අවුරුදු දෙකක් ගෙවිල ගිහින් ‍උසස්පෙළ ප්‍රතිපල ආවට පස්සෙ කොල්ල ඉස්සෙලම ගෙදර යන්නත් කලින් ආවෙ මාමා හම්බවෙන්න. ඇවිත් ප්‍රතිපල කිව්වා. මාමට කට උත්තර නෑ. දිස්ත්‍රික්කයෙ 5 වෙනියා ගණිත අංශයෙන්. දිවයිනේ 25 ද කොහෙද “දැන් මාමා මොකද කියන්නෙ” කියල කොල්ලා ඇහැව්වා. මාමා මොනව කියන්නද? එදා ඉදන් දෙන්නට ගෙදරින් ආශිර්වාදෙ තියනවා. ඒ දෙන්නගෙ මගුල් ගෙදර තමයි ඔය කියල ගියෙ. ඔන්න ඔහොමයි කොල්ලන්ගෙ වැඩ.

(මම මේ කල්පනා කලේ අපිට ඔහොම මාමන්ඩිල හිටියෙ නෑනෙ. හිටියනං අපිත් ගොඩ)

ඡායාරූපය මෙම යොමුවෙනි

Thursday, May 13, 2010

ප්‍රතිපත්තිගරුක මිනිසෙකුගේ ඉරණම


මා මතු සදහන් තරනුයේ මා දන්නා හිත‍වතෙකු පිළිබද කතන්දරයයි. වර්තමාන සමාජය හා බලන කල ඔහු කළුත් නැති සුදුත් නැති අළු චරිතයකි. කිසියමු වු දෙයක අනන්තයට නොගිය හෙතෙම හැමදේම මධ්‍යස්ථව ඉවසයි.

විවාහකයෙකු වූ හෙතෙම විවාහයට වසර ගණනාවකට පෙර සිටම නිර්මාංශ පුද්ගලයෙකි. කිසිදා මත්පැන් නොබිව් ඔහු දුම්පානයද සූදුවද අතහැර ජීවත්වූවෙකි. අඩුම තරමේ උත්සව අවස්ථාවකදී වත්බියර් පානයෙන් වුවද බැහැරවූ ආදර්ශමත් චරිතයක් විය.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. විවාහයෙන් පසුවද හිතවතා ‍ප්‍රතිපත්ති රැක්කේය. ටික කලෙක පටන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට විය. ශරිරයේ බොහෝ වෙනස්කම් ඇතිවිය. ශරීරය ක්ෂය විය. නිතරම අසනීප විය. සාමාන්‍ය බෙහෙත් සහ පරීක්ෂන වලින් සුවයක් නොවීය. අවසානයේදී සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරිනි. ඔහුගේ නියම තත්ත්වය අනාවරණය විය.

අද ඔහු දියවැඩියා රෝගියෙකි. කොලෙස්ටරෝල් අධිකව අඩංගුය. තවත් එකි මෙකී රෝග ගණනාවකට ඔහු හිමිකම් කියයි.

එකල ඹහුට මත්පැනට ඇරයුම් කල මිතුරෝඔහුට සරදම් කරති. මාංශ භක්ෂකයෝද එසේමය. ලෝ දහම සමානයයි කියුවත් මෙවැනි අසමානතා ලෝ දහම තුල ඇත. රැකි ප්‍රතිපත්ති කුමටදැයි අද හෙතෙම සිතයි.

ඡායාරූපය ලබා ගත්තේ මෙම යොමුවෙනි.

Wednesday, May 05, 2010

මල්ලිගේ කතා

මම පවුලේ එකම ලමයා. මට ඉතින් සහෝදර සහෝදරියො කවුරුත් නෑ. පොඩිකාලෙ ඉදන් මගෙ තනියට හිටියෙ මහප්පගෙ පොඩි එකා තමයි. අල්ලපු ගෙදර ඉන්න හන්ද මට කවදාවත් පාළුවක් දැනුනෙ නෑ. දැන් මිනිහා ගජ ඉලන්දාරියා. දැනුත් මල්ලිගෙ කතා හන්ද පාළුවක් නෑ. මේවා මල්ලිටයි මල්ලිගෙ සෙට් එකේ ඉන්න අයටයි වෙච්ච දේවල්. මම මේ දේවල් ලියන්න හිතාගෙන හිටියෙ බ්ලොග් මැරතන් එකට. නොදැනුවත්ව වෙච්ච වැරැද්දට මට අන්තර්ජාලෙට ඇතුල් වෙන්න බැරි වෙච්ච හන්දා මැරතන් එකට එන්න බැරිවුනා. දැන් ඒ කතා ටික එක එක වෙනසකටත් එක්ක ලියන්නම්. හිනා යයිද නම් මම දන්නෙ නෑ. හිනා යන ගතියක් තියන හන්ද පොඩි පොඩි කතා ටිකක් ලියන්නම්.මේක තමයි පළවෙනි කතාව.

මල්ලිත් මල්ලිගෙ යාළුවො සෙට් එකත් වැඩිපුර ඉන්නෙ පන්සලේ. පන්සලේ මොකක් හරි වැඩක් තියනවනම් කොල්ලො ටික මැරීගෙන වැඩ. ඕක හන්දම ගමේ පන්සලේ පොඩි හාමුදුරුවොත් මේ කට්ටිය එක්ක හරි හිතවත්. ඒකට තවත් හේතුවක් තිබුනා. ඒ පොඩිහාමුදුරුවොත් බොහොම තරුණ කෙනෙක් වීම. ඉතින් මේ සුහදත්වය දිගටම පැවතුනා. ඔන්න දවසක පන්සලේ උත්සවයක් තිබ්බා. කට්ටිය ගජරාමෙට වැඩ. පොඩි හාමුදුරුවොත් ඉතින් ඇවිත් උදව්වුනා. ටික වෙලාවකින් හාමුදුරුවො මේ ගොල්ලන්ට තේ එකක් බොන්න පන්සලට කතා කලා. කට්ටියට ඒකට වත් ඉස්පාසුවක් නෑ. හාමුදුරුවන්ගෙ ඇවිටිල්ලත් වැඩියි. ඉතින් එතන හිටපු මල්ලිගෙ යාළුවෙක් හාමුදුරුවන්ට “හාමුදුරුවො යන්න අපි වඩින්නම්” කියල කිව්වා. ඉතින් කතාව එතනින් ඉවරයි.

ශිෂ්‍යත්වෙත් එක්ක අතුරු කතා

පහේ ශිෂ්‍යත්වෙ ඉවරයි. පළවෙනියො දෙවනියො තේරිලත් ඉවරයි. පාස් වෙච්ච දරුවො සතුටු වෙලත් ඉවරයි. ෆේල් වෙච්ච දරුවො දෙමව්පියන්ගෙන් මෝඩයා පොල් බ...