Monday, September 28, 2009

අම්මා

පසුගිය සතියෙ සිළුමිණ පත්තරේ සිත්මල්යාය අතිරේකයේ තිබ්බා සාකච්ඡාවක් උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයත් එක්ක. මාතෘකාව අම්මා. මගෙ අම්මව මට මඟහැරුණා... ඒ විදිහටයි ලිපිය පටන‍්ගෙන තිබ්බෙ. ලෝකෙ හැමෝටම පොදු වස්තුවක් වෙන තමන්ගෙ අම්ම ගැන සන්නස්ගලයන් බොහෝම හැගීම්බර සාකච්ඡාවක් ලබා දී තිබුනා. ඇත්තෙන්ම ඒ වදන් බොහොම හැගීම්බරයි. පහත යොමුවෙන් ඔබටත් ඒ ලිපිය කියවන්න පුළුවන්.

http://www.silumina.lk/2009/09/20/_art.asp?fn=as0909202

තමන්ගෙ අම්මා තාත්තා මග හරවාගන්න එපා. ඒ ලිපියෙන් අපට දෙන අවවාදයයි.

Wednesday, September 23, 2009

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය



ආවා ආවා

ඔන්න ආවා බල බලා හිටපු සාහිත්‍යය මාසය සමග ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය . මම නම් ඇත්තටම මේ මාසෙ එනකං හිටියෙ හොද පොත් ටිකක් ගන්න තියන ආසාව හන්දම තමයි. ඉතින් ඔන්න හදිස්සි වැඩ ඉවර කරල නිවාඩු දවසෙ හවස පොඩ්ඩක් බී එම් අයි සී එච් එක පැත්තෙ යාළුවෙක් එක්ක පොඩ්ඩක් ඔළුව දාල බැලුවා. ප්‍රදර්ශනේ ලොකු වෙනස් කමක් නෑ. පහුගිය අවුරුදු වගේම තමයි. සෙනග නම් පහුගිය අවුරුදු එක්ක බලනකොට ටිකක් විතර අඩුයි වගේ. ඒත් එන අයගෙ උනන්දුව නම් අඩුවක් නෑ.

එක එක විදිහෙ පිරිස් මේ ගමනත් ඇවිත් හිටිය. පොත් බලන්න, පොත් ගන්න, ඉස්කෝල වලට පුස්තකාල වලට පොත් ගන්න, ගෑණු ලමයි බලන්න වගේම පොත් උස්සන්න (බර බලන්න නෙමෙයි) සහ එන ජනකාය අතර තෙරපෙන්න අයත් ඕන තරම්.

ගිය ගමනට වඩා පොත්වල ගානත් ටිකක් වැඩියි තමයි. එහෙම නැතුවත් ඉතින් බෑනෙ. ලෝක ආර්ථික අර්බුධය, කතෘ භාග, මුද්‍රණ වියදම්, ප්‍රචාරණ වියදම් ප්‍රවාහන වියදම් ආදී එකී මෙකී නොකී සියල්ලම බලන කොට ඉතින් ඩිංගක් වැඩි නොකර කොහොමද? ඒත් ගියපාර නැති හොදක් මම මේ ගමන දැක්කා. ඒ තමයි වට්ටම්. මේ ගමන 20% ඉදන් 30% වෙනකන් වට්ටම් දුන්නා. සමහර තැන්වල පරණ පොත් වලට 50% ‍ට වඩා වට්ටම් හම්බවෙනවා. ගිය ගමන හුගක් තැන්වල හම්බවුනේ 20% විතරයි.

මේ ගමන හොදම පොත හැටියට ස්වර්ණ පුස්තක වලට තේරුණේ සුනෙත්‍රා රාජකරුණානායක මහත්මියගෙ පොදු පුරුශයා. ඒක හන්දා ගෙදර ඉදන්ම ලෑස්තිවෙලා ගියෙ ඒ පොත ගන්න. අමාරුවෙන් පොතේ ප්‍රකාශකයා සරසවි කියල හොයාගෙන ඒ කුටියෙ තෙරපිලා තෙරපිලා පොත හෙව්වා. තිබ්බෙ නෑ. ඉතින් එතන සාරියක් ඇදගෙන වැඩකරපු අක්ක කෙනෙක්ගෙන් මම ඇහැව්වා “ අක්කෙ පොදු පුරුෂයා කොහෙද?” කියල. අක්කා මගෙ දිහා අප්සෙට් බැල්මක් දැම්මා. පස්සෙ මට තේරුනා වැරදි දෙයක් කියවුනා තමයි කියල. ඊට පස්සෙ එයා කිව්වා “මල්ලී අද ඉවර වෙලා හෙට එයි” කියල. (චික් විතරක්!. පොතකට අහන්න පුළුවන් නමක් දාන්න ඕනෙ) ඒ හොදම පොත. දවස් තුනයි ප්‍රදර්ශනේට. පොත ස්ටොක් එකේ නෑ. අනේ මන්දා.

කොහොමත් හොද පොත් ගොඩක් තිබ්බා. පහුගිය වතාවෙ ගන්න බැරිවෙච්ච පොත් මේ ගමන ගන්න ගියහම ගනන් වෙනස් වෙලා. චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හොම්ස් පොතක් අළුතෙන් නිකුත් කරල. ගිය ගමන ගන්න බැරිවෙච්ච එයාගෙ ශ්‍රේෂ්ට ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා පොත වගේම මං ලග නැති ෂර්ලොක් හෝම්ස් පොත් වගයකුත් මේ ගමන ගත්තා. කුමාර සිරිවර්ධන අළුතෙන් පරිවර්තනය කරපු ජොආනා, රාජ්‍යය සාහිත්‍යය සම්මාන හම්බවුන පියල් කාරියවසම්ගෙ ආචාරිසීයා දුටු දිදුලන අන්ධකාරය වගේම කීර්ති වැලිසරගේ දෝනාවක් ඔස්සේ කෙටිකතා සංග්‍රහය, මේ ගමන ස්වර්ණන පුස්තක සදහා නිර්දේශිත කරුණාදාස සුරියාරච්චිගේ අන්ධකාර තාරකාව වාරිස් ඩයරි කියන මොස්තර නිරෑපිකාවගෙ ජීවිත කතාව රැගත් රංජිත්කුරුප්පුගේ කාන්තාරයේ කුසුම වගේ පොත් පත් මේ ගමන මගේ අවසාන ප්‍රතිපල වුනා. පොඩිකාලෙ ඉදන් ආසකරන රුසියානු පොත් දෙක තුනක් ගන්නත් මම අමතක කලේ නෑ. ඇලෙක්සැන්ඩර් පුෂ්කින‍්ගෙ ඉස්කෝප්ප රැජින වගේම මිහයිල් ෂෝල්හව් ගේ දොන් පෙදෙසේ කතාත් මේ ගමන ගත්තා.

පොඩිකාලෙ මගේ ආසම ලේඛකයා තමයි කුලසේන පොන්සේකා මහත්තයා. එතුමා ලියපු හැම පොතක්ම කියෙව්වා වගේම හුගක් පොත් මං ගාව තිබ්බා. ඒත් ඉතින් මගෙ ආදරණිය යාළුවො ඒ පොත් ඒ ගොල්ලන්ගෙ ගෙදර ගෙනිහිල්ල කියවල පරිස්සමට අරන් තියල ..... !@$%^&*(*&^% කොහොමහරි දැන් ඒ ආදරණිය යාළුවන්ට පින් සිද්ධ වෙන්න ඒ එක පොතක්වත් මං ගාව නෑ. ම‍ට ඒ පොත් ටික ගන්න ඕනෙ කම තිබ්බා. 2007 අවුරුද්දෙ තිබ්බ පොත් ප්‍රදර්ශනයෙ එතුමාගෙ කුටියක් තිබ්බා. අවාසනාවට මගෙ අතේ ඒ වෙලාවෙ සල්ලි තිබ්බෙ නෑ. හරිම ලාබෙට ඒ පොත් විකිණුනා. නමුත් ඊට පස්සෙ තිබ්බ එක ප්‍රදර්ශනේකවත් එතුමගෙ පොතක් ඇහැට දකින්න තිබ්බෙ නෑ. ‍

අතේ සල්ලි තිබ්බනම් තව පොත් ගන්නවා. ගන්න හිතන් ආපු පොත් ගන්න සල්ලි මදි. හිත දුකින් ‍පුරෝගෙන හවස් වෙනකන් ඉදල අයිස් ලෙමන් ටී එකක් බීල ගෙදර ආවා.




Friday, September 18, 2009

ආබාධිත ලෝක බැඩ්මින්ටන් ශූරතාවලිය


ඊයෙ දිනපතා පුවත්පතක (මතක හැටියට ලංකාදීප) ක්‍රීඩා පිටුවෙ මේ පුවත පළ වෙලා තිබ්බා. “ ආබාධිතයන්ගේ ලෝක බැඩ්මින්ටන් තරගාවලියේදි ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රිදි - ලෝකඩ පදක්කම් දිනති.” ඒ අපේ රටේ තවත් එක් ජයග්‍රහණයක්. කිසිවෙකු නොසිතන ආකාරයේ ජයග්‍රහනයක්. මේ තරගාවලිය පැවැත්වූනේ කොරියාවේ සෝල් නුවර. මේ සදහා ක්‍රීඩකයින් පස් දෙනෙක් අපේ රට නියෝජනය කලා. ඔවුන් අපේ යුධ හමුදාවේ ආබාධිත සෙබල සොයුරන්. සියල්ලන්ම කාලකන්නි යුද්ධය වෙනුවෙන් තමන්ගෙ අත හරි කකුල හරි පූජා කරපු අභිත සෙන්පතියෝ. දැන් ඔවුන් ආයෙත් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම් ඉෂ්ට කරන්න පටන් අරන්. බලන්න මේ ලිපිය දිහා.

“එහිදි පාදයක් අහිමි කේවල ඉසව්වේ රිදි පදක්කම ...... අතක් අහිමි යුගල ඉසව්වේ......රෝද පුටු ඉසව්වේ.....” මේ වාක්‍යය කියවනකොට හිතට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න පුළුවන්ද?

මට මතකයි මේ සෙබල සොයුරන්ට තරගාවලියට සහභාගී වෙන්න ගුවන් ටිකට් පත් ගන්න මුදල් සොයාගන්න තියන අපහසුතාවය ගැන කියල ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වලත් කිව්වා. කොහොම වුනත් මේ අභීත සෙබළුන් ආයෙත් රටට කීර්තියක් ගෙන දුන්නා. සොයුරනේ ඔබට ජය.



Thursday, September 10, 2009

සුනිල් අයියා..

සුනිල් අයියා කිව්වහම ගොඩක් ලෙන්ගතු පුද්ගලයින් රැසක් අපේ සිහියට නැගෙනවා. කෙලින් කතා ඇති ජිප්සිස් සුනිල්, සත්‍යවාදියෙකුගේ දිනපොත ලියපු සුනිල් මාධව ප්‍රේමතිලක, මධුර කටහඩක් ඇති සුනිල් එදිරිසිංහ මනහර පදවැල් ලියන සුනිල් ආරියරත්නයින්, සුනිල් සරත් පෙර්රා, නැසී ගිය ගායක සුනිල් ශාන්ත ආදීන්. නමුත් මම මේ කියන සුනිල් අයියා එහෙම රටම දන්න පුද්ගලයෙක් නෙමෙයි.

කොටින්ම කියනවානම් සුනිල් අයියගෙ පුද්ගලික විස්තරයක්වත් මම දන්නෙ නෑ. අනෙත් අය සුනිල් අයියා කියන හන්ද මාත් ඔහුට කතා කලේ එහෙමම තමයි.

සුනිල් අයියා ජීවත් වෙන්නෙ බත්තරමුල්ලෙ. මට සුනිල් අය්යව ඉස්සෙල්ලම මුණගැහුනෙ මගෙ අතිජාත මිත්‍රය තිවංක හන්ද. තිවංක ඒ දවස් වල නැවතිලා හිටියෙ බත්තරමුල්ලෙ. මම තිවංක හම්බවෙන්න යන වෙලාවලට තමයි සුනිල් අය්යව දැක්කෙ. සුනිල් අයියා අවුරුදු 50 ක් හරි ඊ‍ට වැඩි වයසක මහළු පුද්ගලයෙක්. රස්සාව හැටියට කරන්නෙ ලොතරැයි විකුනන එක. සුනිල් අයියගෙ විශේෂය තමයි ඇස් දෙකම පෙනෙන්නෙ නැති එක. උදේම තමන්ට පුළුවන් විදිහට ඇදගෙන ඔළුව පීරල බැටරි දාපු රේඩියෝ එක කරේ එල්ලගෙන එක අතකින් සුදු සැරයටියත් (මට හරියටම මතක නෑ) අනිත් අතින් ලොතරැයි ලෑල්ලත් අරගෙන “අද ගන්න වාසනාව අදයි දිනුම් අදින්නේ කෝටියයි ගන්න” කියමින් බත්තරමුල්ල හන්දිය පුරා ඇවිදින සුනිල් අයියා දකින්න ආස දසුනක්. බත්තරමුල්ලෙ ගොඩක් කඩහිමියො තමයි සුනිල් අයියගෙ කස්ටමර්ස්ලා. සුනිල් අයිය හිත හොද කෙනෙක්. එයාගෙ ඇස් පේන්නෙ නැති කමින් කවුරුත් අයුතු ප්‍රයෝජන ගන්නෙ නෑ.

තමන්ගෙ ඇස් දෙකම නොපෙනුනත් කාටවත් කරදරයක් නැතුව, කාටවත් අත පාන්නෙ නැතුව ජීවත්වෙන මේ මනුස්සය ගැන ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනෙ. මම කවදාවත් ලොතරැයි ගන්න කෙනෙක් නෙමෙයි. මේ මනුස්සයගෙ උත්සාහය දැකල මට හිතට ඇතිවෙච්ච සංතෝසෙට පුළුවන් හැම වෙලාවෙම මමත් සුනිල් අයියගෙන් ස්විප් ගන්න පුරුදු වුනා. අත පය ඇස් ‍ඔක්කොම තියාගෙන හිගාකන මිනිස්සු ඉන්න රටක සුනිල් අයියලා රජවරු.

මනුස්සයකුට උප්පත්තියෙන් කිසියම් අංගයක් පිහිටන්නෙ නැත්නම් ඒ වෙනුවට තවත් යමක් හොදින් පිහිටනවා. ඒක ලෝක ස්වභාවය. අපේ අය කරන්නෙ ඒ අඩු අංගය පෙන්වල හිගාකන එක. විය යුත්තේ ඒක නෙමෙයි. කිසියම් දෙයක් කරන්න හිතේ ධෛර්යය අවශ්‍ය වෙනවා. අපේ හුග දෙනෙකුට නැත්තේ ඒක. හැම දේකම ලේසියට පුරුදු වෙච්ච අයට හිගා කන එකත් ලේසි වෙලා තියනවා.

මට දැන් ටික දවසකින් සුනිල් අයිය මුන ගැහුනෙ නෑ බත්තරමුල්ල පැත්තෙ ගිය නැති නිසා. කොයි වෙලාවෙ හරි බත්තරමුල්ලෙ ගියොත් අතින් රේඩියෝ එකත් අරන් ලොතරැයි විකුණන සුනිල් අයියගෙන් ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා.

Wednesday, September 09, 2009

රාජගිරියේ වාහන තදබදය

මේදවස් වල උදේ වරුවෙයි හවස් වරුවෙයි හරිම වාහන තදබදයක් තියනවා රාජගිරිය හරියෙ. ඒක පටන් ගන්නෙ බත්තරමුල්ල හරියෙන්. ඉවර වෙන තැනක් නම් හරියටම කියන්න බෑ. ඉස්කෝල පටන්ගත්තට පස්සෙ තමා මේ විදිහට තදබදය වැඩි වුනේ. මේ තදබදයට මොකක්හරි ඉක්මන් පියවරක් ගන්න වෙනවා.

කොළඹට ඇතුල්වෙන වාහන ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා. ප්‍රධාන මාර්ග කීපයකින් ම වාහන කොළඹට එනවා. පෑලියගොඩ පැත්තෙන්, ගාළුපාර දිගේ සහ බත්තරමුල්ල පැත්තෙන් නව නුවර පාරෙන්. ඉතින් මට හිතුනා මේ මාතෘකාව ගැන පොඩ්ඩක් විපරම් කරන්න. මොකද මමත් වැඩට එන්නෙ රාජගිරිය හරහා හන්දා.

රාජගිරියේ ට්‍රැෆික් එක තියෙන්නෙ අද ඊයෙ ඉදල නෙමෙයි. රාජගිරියෙ මේ සිද්ධිය වෙන්න හේතු ගනණාවක් තියනවා. එකක් තමයි පාර්ලිමේන්තුව. මේකෙ ඉන්න අය යන එන වෙලාවට පාර ඔක්කොම වහනවා. අනිත් මිනිස්සු පැය ගානක් පාර වහගෙන බලන් ඉන්නඕනෙ ඒ උත්තමයො උත්තමාවියො යනකන්. ඒ දෙයින් සිද්ධවෙන්නෙ උදේ වරුවට කාර්යාලෙට නැවුම්ව ගිහින් වැඩක් කරන්න තියන කාලයත් හවසට මැරිල මැරිල ගෙදර ගිහින් පොඩ්ඩක් විවේක ගන්න තිබ්බ කාලය එහෙම පිටින්ම නැති වීම.

මාර්ග තදබදයට තවත් හේතුවක් වෙන්නෙ මාර්ග කීපයකින් එන වාහන රැසක් එක පාරකට අවතීර්න වීම. බත්තරමුල්ල, වැලිකඩ, බුත්ගමුව ආදී ප්‍රදේශවලින් එන වාහන ඔක්කොම රාජගිරියෙදි මුණගැහෙනවා. පාරවල් ගොඩකින් එන වාහන තවත් ඒවගේම පාරකට වැටුනහම තත්ත්වෙ ඕන එක්කෙනෙකුට තේරෙනවා.

ට්‍රැෆික් එකට සෑහෙන්න විසදුම් පහුගිය කාලෙ පුරාවටම සොයා බැලුනා. ඒත් 100%ක් සාර්ථක විසදුමක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මේ විදිහට ගත්ත එක ක්‍රියාමාර්ගයක් තමයි රාජගිරිය මංසන්ධියේ විදුලි ආලෝක සංඥා එලි සවිකිරීම. වසර කිහිපයක ගවේශණයකින් පස්සෙ හදපු මේ පද්ධතිය මුලදී හොදට ක්‍රියාත්මක වුනත් කාලයත් සමග ඒකත් සාමාන්‍යය දෙයක් විදිහටම දැන් වැඩිකාලයක් අක්‍රිය වෙලා තියනවා.

මේකට ගත්ත තව පියවරක් තමයි රාජගිරියෙ කෝට්ටෙ පාර පුළුල් කිරිම. අවුරුදු ගානක් තිස්සෙ මිනුම් කරල ලකුණු කරල වන්දි දීලත් තියෙන්නෙ. ඒත් තාම පාර හැදෙන පාටක් නෑ. ඒකට හේතුව මොකක්ද කියල මම හරියටම දන්නෙ නෑ. නමුත් කෝට්ටෙ පාර හැදිල ආයුර්වේද මංසන්ධිය වෙනකං පාර පලල් වුනොත් රාජගිරිය හන්දියෙ ට්‍රැෆික් එක අඩුවෙයි.

පහුගිය කාලෙ පත්තරවල මේ තදබදයට විසදුම් සාකච්ඡා කලා. ඒවායේ ප්‍රායෝගික වගේම ලේසියෙන් කරන්න පුළුවන් විසදුම් රාශියක් තිබ්බා. මේ අඩුම තරමින් ඒ විසදුම් ක්‍රියාත්මක කිරිමටවත් කාලයයි.